උතුරේ වෙසක් උත්සව තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ව්‍යාජ පුවත

උතුරේ වෙසක් සැරසිලි සහ දන්සල් තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද ඒවා බව FactSeeker තහවුරු කරයි.
by Anonymous |
මැයි 27, 2026

උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගම් මහතා විසින් උතුරේ වෙසක් උත්සව සහ දන්සල් පැවැත්වීම තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වෙමින් පවතී. මෙම පුවත හේතුවෙන් සමාජය තුළ දැඩි කතාබහක් සහ විවේචන මතුව ඇති පසුබිමක, මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීම සඳහා FactSeeker විමර්ශනයක නිරත විය.
සමාජ මාධ්‍ය සටහන්:

මෙම පුවත ජාතික පුවත්පත් වාර්තාවක පළවී ඇති ස්වරූපයෙන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණද, මෙරට කිසිදු ප්‍රධාන පෙළේ මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක මෙවැනි පුවතක් පළවී ඇති බවට කිසිදු සාක්ෂියක් හමු නොවේ.
Factcheck :
මෙවර වෙසක් සමයේ උතුරු පළාත තුළ දන්සල් දීම හෝ වෙනත් වෙසක් සැරසිලි කිරීම තහනම් කරමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් එවැනි නිල නියෝගයක් නිකුත් කර තිබුණේ නම්, එය මෙරට ප්‍රධාන ජාතික මාධ්‍ය ඔස්සේ ප්‍රධාන පුවතක් ලෙස වාර්තා විය යුතුය. කෙසේ වෙතත්, කිසිදු විශ්වාසවන්ත මාධ්‍ය ආයතනයක් එවැනි පුවතක් වාර්තා කර නොමැත.
එසේම, සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන කරන කිසිවෙකු එය කුමන පුවත්පතක පළවූවක්ද යන්න සඳහන් කර නොමැත. එහි ඇති අකුරු හැඩතල, ලේඛන විලාසය හෝ ආකෘතිය ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන කිසිදු ප්‍රධාන පුවත්පතකට සමාන නොවන බැවින්, මෙය ව්‍යාජ ලෙස සකස් කරන ලද පුවත්පත් පිටුවක් බව මනාව පැහැදිලි වේ.
මෙම පුවතේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා FactSeeker උතුරු පළාත් ආණ්ඩුකාර නා.වේදනායගම් මහතා සෘජුවම සම්බන්ධ කර ගත්තේය. එහිදී ඒ මහතා තහවුරු කර සිටියේ මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද එකක් බවයි. එසේම තම කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිල පැහැදිලි කිරීමේ නිවේදනයද ඒ මහතා අප වෙත යොමු කළේය.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය නිකුත් කළ නිල නිවේදනය:

” අසත්‍ය වාර්තාවක් සම්බන්ධව පැහැදිලි කිරීම
පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතින, “මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනමක් පනවා ඇත” යන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත වේ.
එවැනි කිසිදු තීරණයක් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් ගනු ලැබ නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත් මහත් වගකීමෙන් යුතුව දන්වා සිටිමි.
දිගු කාලයක් තිස්සේ අපගේ ජන කොටස් අතර පවත්නා ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමටත්, ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමටත් යන ද්වේෂ සහගත අරමුණින් ඇතැම් කොටස් විසින් මෙවැනි ව්‍යාජ ප්‍රවෘත්ති හිතාමතාම සෑදීමෙන් හා ව්‍යාප්ත කිරීමෙන් ක්‍රියා කරන බව පැහැදිලිය.
මෙම පහත් හා ද්වේෂ සහගත සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එරෙහිව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
එබැවින්, මෙවැනි පදනම් විරහිත ව්‍යාජ ප්‍රවෘත්ති විශ්වාස නොකරන ලෙසත්, ව්‍යාජ ප්‍රචාරයන්ට රැවටෙන්නේ නැතිව, ජාතික හා ආගමික සංහිඳියාව සහ සාමය ආරක්ෂා කරගනිමින් ජීවත් වන ලෙසත් සැමට ආදරයෙන් ඉල්ලා සිටිමි.
නා. වේදනායගම්, ආණ්ඩුකාර,
උතුරු පළාත. ”
මීට අමතරව, FactSeeker යාපනය පොලිස් ස්ථානයෙන් කළ විමසීමකදී ද නිලධාරීන් තහවුරු කළේ සමාජ මාධ්‍යවල පැතිරෙන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, ආණ්ඩුකාරවරයා විසින් එවැනි කිසිදු තහනමක් හෝ නියෝගයක් පනවා නොමැති බවත්ය.
එසේම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද කියා සිටියේ, සමාජ මාධ්‍යවල පළවන මෙම පුවත සත්‍යයෙන් තොර එකක් බවත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා එවැනි කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවත්ය.
Cabinet link – https://www.youtube.com/watch?v=m7FPDlg4N34
නිගමනය :
උතුරු පළාතේ දන්සල් හෝ වෙනත් වෙසක් සැරසිලි තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව FactSeeker තහවුරු කරයි.
