නව ආදායම් මාර්ගයකින් මුදල් උපයා ගත හැකි බව අගමැතිනි හරිනි ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල අසත්‍යයි!

පුරවැසියන්ට ඉතා ඉක්මනින් මුදල් උපයාගත හැකි ක්‍රමවේදයක් පිළිබදව අග්‍රාමාත්‍යවරිය පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන බව FactSeeker නිරීක්ෂණය කළේය.
by Anonymous |
ඔක්තෝබර් 22, 2025

සාමාන්‍ය පුරවසියන්ට ඉක්මනින් මුදල් උපයා ගත හැකි ක්‍රමවේදයක් පවතින්නේ යැයි අගමැති හරිනි අමරසූරිය කළ බව පෙනෙන ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය තුළ මේ දිනවල සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී.

වට්ස්ඇප් මාධ්‍ය හරහා ද එසේ විඩියෝ හුවමාරු වෙමින් පවතින අතර ඒවා තුළ සඳහන් වන්නේ පරිශීලකයින්ට දිනකට රු. 150,000 දක්වා මුදලක් උපයා ගත හැකි බව කියැවෙන පණිවිඩයකි.
එම වීඩියෝව මෙතැනින්: https://www.facebook.com/61575339390692/posts/24984869637776057/?mibextid=rS40aB7S9Ucbxw6v
මෙම වීඩියෝව ඉතා හොදින් නිරීක්ෂණය කර බැලීමේදී එහි අගමැතිනියගේ කටහඬ ස්වභාවික නොවන බවක් සහ වචන උච්චාරණය ඇයගේ සාමාන්‍ය උච්චාරණයට වඩා වෙනස් බවත් නිරීක්ෂණය කළ හැකි විය.
ඒ අනුව අගමැති හරිනි අමරසූරිය මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් සිදු කර තිබේ දැයි වැඩිදුරටත් අන්තර්ජාලයේ පරීක්ෂාකළ විට මීට වසර දෙකකට පෙර කිරණ TV යූටියුබ් නාලිකාවේ පළ වී තිබූ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් අපට හමු විය.
එම වීඩියෝව මෙතැනින්: https://www.youtube.com/watch?v=njcmLKnKW9g
කිරණ TV යූටියුබ් නාලිකාවේ අගමැතිනියගේ සාකච්ඡාව සිංහල භාෂාවෙන් කරන අතර, එහිදී ඇය ජාතික ජනබලවේගය පක්ෂයේ ප්‍රතිපත්ති, ඉදිරි කටයුතු, අධ්‍යාපනය සහ දේශපාලනය පිළිබඳ අදහස් සහ පාර්ලිමේන්තු සභිකයින් පත්කිරීම් සම්බන්ධයෙන් ඇයගේ අදහස් ඉදිරිපත් කරයි. ඒ අනුව වට්ස්ඇප් මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝව මෙම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගෙන AI තාක්ෂණය ඔස්සේ කටහඬ, භාෂාව සහ අදහස විකෘති කර පළ කරන ලද බවට කරුණු තහවුරු කරගත හැකි විය.

මේ ආකාරයෙන් ම අගමැති හරිනි පෙනී සිටින තවත් වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරය FactSeeker ට නිරීක්ෂණය විය.
එම වීඩියෝව මෙතැනින්: https://archive.org/details/vid-20251021-wa-0025
මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එය ඩේලි මිරර් පුවත්පතේ සාමාජ මාධ්‍ය වේදිකාවක පළ වූවක් බවයි. ඒ අනුව මෙම වීඩියෝව ඩේලිමිරර් (Daily Mirror) වෙබ් අඩවියේ හෝ, ඩේලිමිරර් සමාජ මාධ්‍ය වේදිකාවන්හි පළ කර තිබේදැයි නිරීක්ෂණය කළ ද එවැනි පළකිරීම් කිසිවක් ඩේලිමිරර් සමාජ මාධ්‍ය තුළ පළ වී නොමැති බව තහවුරු විය.

මේ අනුව අන්තර්ජාලයේ හරිනි අමරසූරියගේ සම්මුඛ සාකච්ඡා පිළිබඳ විශ්ලේෂණය කිරීමේදී මෙම වීඩියෝව සකස් කිරීමට යොදාගත් සත්‍ය වීඩියෝව අපට හමු විය.
එම වීඩියෝව මෙතැනින්: https://youtu.be/MeGPxv-RjeU?si=e7zjLlq72w2IuQZQ
එනම් Conversation with Alanki නම් යූටියුබ් නාලිකාවේ අලංකී නම් නිවේදිකාව, අගමැතිනිය සමඟ පසුගිය වසරේ පෙබරවාරි මස කරන ලද සාකච්ඡාවක කොටසක් උපුටාගෙන එහි හඬ සහ මුඛයේ ඉරියව් පමණක් කෘත්‍රීමව වෙනස් කරමින් ඉහත වීඩියෝව AI ඔස්සේ සකස් කර ඇති බව FactSeeker විසින් තහවුරු කරගන්නා ලදී.

එමෙන්ම මේ සමබන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ද විමසීමක් කළ අතර එහිදී ඔවුහු ද මෙම සියලු ප්‍රකාශ ඇතුළත් විඩියෝ පට අසත්‍ය බව අවධාරණය කළහ.
ඒ අනුව නව ආදායම් මාර්ගයකින් ඉක්මනින් මුදල් උපයා ගැනීමට හැකි බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කරන වීඩියෝ සියල්ල AI තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කරන ලද වංචනික මූල්‍ය ප්‍රවර්ධන උපක්‍රම කිහිපයක් බව FactSeeker තහවුරු කරයි.