ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් නවතන ලෙස ඉල්ලමින් ඊශ්‍රායල ධජය රැගත් පුද්ගලයින් උද්ඝෝෂණයක නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝව කෘත්‍රීම බුද්ධිය (AI) යොදාගනිමින් නිර්මාණය කරන ලද්දක් බව FactSeeker කරුණු පරීක්ෂා කර තහවුරු කරයි.
by Anonymous |
ජූනි 20, 2025

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් ඉතාමත් උණුසුම් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙන මොහොතක, එම ගැටුම් නවත්වන ලෙස ඉල්ලමින් ඊශ්‍රායල ධජය රැගත් විශාල පිරිසක් උද්ඝෝෂණයක නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් සංසරණය වෙයි.
මෙම වීඩියෝව සූක්ෂමව පරීක්ෂා කළ විට එහි සිටින මිනිසුන්ගේ අවයව විකෘති වී යාම, එක් එක් ස්ථානවල සිටින මිනිසුන් ඇතැම් විට අතුරුදහන් වී යාම වැනි ලක්ෂණ දැකගත හැකි විය. මෙම වීඩියෝවේ එක් ස්ථානයක නිල් පැහැ කමිසයක් ඇද සිටින පුද්ගලයාගේ අතට එක්වරම කොඩියක් මතුවන ආකාරය ද අපට නිරීක්ෂණය කළ හැකි විය.
අදාළ වීඩියෝව සත්‍ය වීඩියෝවක් ද යන්න තහවුරු කර ගැනීමට අපි කරුණු පරීක්ෂා කළෙමු.
මෙය රූප මූලාශ්‍ර සෙවුම් (Reverse Image Search) මෙවලම් හරහා පරීක්ෂා කළ විට ලෝකයේ විවිධ භාෂා ගණනාවකින් වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව දක්නට ලැබුණි. එසේම Pakistan Defence Forum නම් වෙබ් අඩවිය හරහා 2024 වර්ෂයේ මෙම වීඩියෝව AI නිර්මාණයක් බවට තහවුරු කරන ලද විස්තරයක් ද අපට හමු විය.
ඒ අනුව, මෙම වීඩියෝව 2025 වර්ෂයේ ඊශ්‍රායලය හා ඉරානය අතර යුධ ගැටුම් හා සම්බන්ධ වීඩියෝවක් නොවන බවට කරුණු තහවුරු කරගත හැකි විය.
අදාළ වීඩියෝවෙන් ලබාගත් ඡායාරූප අප Decopy AI වෙබ් අඩවිය හරහා පරීක්ෂා කළ අතර එමගින් ලැබූ ප්‍රතිඵල අනුව එය කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද බවට 96%කට වඩා වැඩි ප්‍රතිශතයකින් තහවුරු විය.
මේ අනුව ඊශ්‍රායලය – ඉරානය අතර යුද ගැටුම් නවතන ලෙස ඉල්ලමින් ඊශ්‍රායල ධජය රැගත් පුද්ගලයින් උද්ඝෝෂණයක නිරත වන ආකාරය දැක්වෙන වීඩියෝව කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගනිමින් නිර්මාණය කරන ලද්දක් බව FactSeeker තහවුරු කරයි.