කොළඹ බලය පිහිටුවීම ගැන වජිර අබේවර්ධනගේ නමින් තවත් ව්‍යාජ ලිපියක්

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධව යන ශීර්ෂයෙන් යුතුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසින් නිකුත් කළ නිවේදනයක් බව දැක්වෙන ඡායාරූපයක් ඇතුළත් පෝස්ටු ගණනාවක් FactSeeker සමාජ මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය කළේය.
by Anonymous |
ජූනි 18, 2025

මීට ඉහතදී ද එක්සත් ජාතික පක්ෂයේ ලිපි ශීර්ෂයෙන් වජිර අබේවර්ධනගේ නම යොදාගෙන හුවමාරු වූ නිවේදනයක් FactSeeker කරුණු පරීක්ෂා කොට ව්‍යාජ එකක් බව තහවුරු කළේය. මෙම ලිපියේ අන්තර්ගතය පරීක්ෂාවේදී පෙර හුවමාරු වූ ව්‍යාජ ලිපියේ ඇතුළත් කරුණු මෙයට ද සම්බන්ධ කර ඇති බව පෙනී ගිය බැවින් නව පෝස්ටුවල කරුණු පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.
එම ලිපියේ අන්තර්ගතය මෙසේය.
“අද දින කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමත් වූ ජාතික ජන බලවේගයේ සාමාජික ව්‍රායි කැලී බල්තසාර් මහත්මියට උණුසුම් සුභ පැතුම් එක්කරමු. විශේෂයෙන්ම දින ගණනක් මුළුල්ලේ පැවැති සාකච්ඡාවලදී ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කිරීමට පක්ෂ ගණනාවක් එකඟ විය. මෙහි මූලිකත්වය සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සහ අප පක්ෂය විසින් දරන ලදී. කොළඹ පුරපති වශයෙන් රිසා සාරුක් පත් කිරීමට ඉහත පක්ෂ තුනෙහි සහ සෙසු කණ්ඩායම්වල සාමාජිකයන් එකඟ විය. ඊයේ රාත්‍රියේදී සර්වජන බලවේගය පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට සහය දීමට එකඟතාවය පළ කරන ලදී. කොළඹ මහ නගර සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවීමට සියලු කටයුතු සුදානම් කර තිබියදී නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත හා රහස් ඡන්දයක් පැවැත්වීමට කොමසාරිස්වරිය තීරණය කිරීමේ දී ඒ සඳහා විපක්ෂයේ කණ්ඩායම ක්‍රියාත්මක වූ ආකාරය අඥානය. එමෙන්ම පෙර සාකච්ඡාවලදී එකඟතාවය පළ කරන ලද ඇතැම් කරුණු කාරණා පිළිබඳවද විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් තැකීමක් නොකළ බව පෙනෙන්නට තිබුණි. ඒ ඒ පක්ෂවල පවතින අභ්‍යන්තර ගැටලු වල උච්චතම අවස්ථාව මෙහිදී අපට දැක ගත හැකි විය. අප විසින් කොළඹ නගරාධිපතිවරයා වශයෙන් මූලික සාකච්ඡා වටවලදී සාගල කාරියවසම් මහතාගේ නම යෝජනා කළ ද එය ප්‍රතික්ෂේප කිරීමද කොළඹ බලය ගිලීමට බලපෑ ප්‍රධානතම හේතුවකි.
එක්සත් ජාතික පක්ෂය විසින් තවදුරටත් වෙනත් කිසිදු දේශපාලන කණ්ඩායමක් සමග ඒකාබද්ධව ක්‍රියා නොකරන බවද, එසේ ක්‍රියා කිරීම පිළිබඳ පසුතැවීමක් ඇති බවද මෙයින් දැනුම් දෙමු.”
මෙහි නගරාධිපති ධුරයට යෝජනා කළ බව සඳහන් “සාගල කාරියවසම්” යන නම ද අපගේ අවධානයට යොමු විය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය මේ වන විට දරන්නේ “සාගල රත්නායක” ය. පෙර අවස්ථාවක හුවමාරු වූ ලිපිය එම යෝජනාව සම්බන්ධයෙන් වූවකි. එහි කරුණු පරීක්ෂාව මෙතැනින්. නමුත් “කාරියවසම්” යන පසු නම සහිත ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු ලෙස සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් “සාගර කාරියවසම්” ය.
කෙසේ වෙතත් මෙවැනි පුවතක් ප්‍රධාන ධාරාවේ විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ආසන්න දින කිහිපය තුළ වාර්තා කර නොමැති බව අපට තහවුරු විය.
එබැවින් එක්සත් ජාතික පක්ෂයේ හෝ එහි ප්‍රධාන තනතුරු දරන පුද්ගලයන්ට අයත් නිල සමාජ මාධ්‍ය පිටුවල හෝ ගිණුම්වල මෙම නිවේදනය පළ කර ඇත්ද? යන්න සම්බන්ධයෙන් අපි පරීක්ෂා කළෙමු. එහිදී එවැනි නිවේදනයක් නිල වශයෙන් නිකුත් කර නොමැති බව තහවුරු විය.
එක්සත් ජාතික පක්ෂයේ නිල ෆේස්බුක් පිටුව මගින් අප කරුණු පරීක්ෂා කළ පෝස්ටුවල ඇතුළත් වූ නිවේදනය ව්‍යාජ එකක් බවට දැනුවත් කර ඇති ආකාරය FactSeeker කරුණු පරීක්ෂාවේදී නිරීක්ෂණය කළේය. එය මෙතැනින්.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසින් ද සිය නිල ෆේස්බුක් පිටුව මගින් අදාළ නිවේදනය ව්‍යාජ බවට දැනුම් දී තිබේ. එය මෙතැනින්.
ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සම්බන්ධව යන ශීර්ෂයෙන් යුතුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන විසින් නිකුත් කළ නිවේදනයක් ලෙස දැක්වෙන ඡායාරූප ව්‍යාජ බව FactSeeker තහවුරු කරයි.