ලංකා සතොසේ මාර්ගගත දිනුම් ඇදීමක් නෑ

ලංකා සතොස හරහා මුදල් ත්‍යාග ලබාදීමේ දිනුම් ඇදීමක් කෙරෙන බව දැක්වෙන පණිවිඩයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.
by Anonymous |
ජූනි 5, 2025

මෙම දිනුම් ඇදීම සදහා 1970 ,1971 , 1972 හි උපන් ශ්‍රී ලාංකිකයන්ට සම්බන්ධ විය හැකි අතර කෙටි පෝරමයක් හරහා තොරතුරු ඇතුළත් කර රුපියල් 50 000 හෝ රුපියල් 100000 ක් වටිනා තෑගි කාඩ්පත් දිනා ගන්නා ලෙස මෙහි සදහන් වේ. එම පණිවිඩය පහතින්.
මෙම පණිවිඩයේ දිනුම් ඇදීම සදහා සම්බන්ධ විය හැකි වර්ෂයන් සඳහන් කළ බැලූන 3 ක් ඇති අතර එයින් අදාළ බැලූනය මත ක්ලික් කිරීම සදහා උපදෙස් දී තිබුණි.
මේ සම්බන්ධව පරිශීලකයින් බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබූ බැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබද සොයා බැලීය. ඒ අනුව මේ සම්බන්ධයෙන් ලංකා සතොස ප්‍රධාන ශාඛාවේ මානව සම්පත් කළමණාකරන අංශයෙන් විමසීමක් කළේය. ලංකා සතොස මගින් මෙවැනි දිනුම් ඇදීමක් සිදු නොවන බව ඔවුන් එහිදී අනාවරණය කළේ ය.
මේ හා සමාන වෙනත් දිනුම් ඇදීමක් ක්‍රියාත්මක වන්නේ ද? යන්න පිළිබඳව ලංකා සතොස අලෙවිකරණ කළමනාකාරීවරියගෙන් විමසූ අතර එවැනි කිසිදු දිනුම් ඇදීමක් සිදුනොවන බව ඇය ද තහවුරු කළා ය. මේ සම්බන්ධයෙන් සතොස ෆේස්බුක් පිටුව හරහා පාරිහෝගිකයන් වෙත දැනුම්දීමක් ද කර තිබෙන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ඒ අනුව මුදලින් රුපියල් 50 000 ක් සහ රුපියල් 100 000 ක් වටිනා තෑගි කාඩ්පත් ලබාදීම සදහා ලංකා සතොස මාර්ගගත දිනුම් ඇදීමක් කරන බව දක්වමින් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව FactSeeker තහවුරු කරයි.