මොහොමඩ් ඊබ්‍රහිම් කොළඹින් ඡන්දෙට එනවා ද?
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුගේ පියා වන ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින බව දැක්වෙන සමාජ මාධ්‍ය සටහනක් FactSeeker අවධානයට යොමු විය.
by Anonymous |
ඔක්තෝබර් 15, 2024
මෙහි සත්‍යාසත්‍යතාව සොයා බැලීම සඳහා අප ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග වදින අපේක්ෂක ලැයිස්තුව පරීක්ෂා කළෙමු. එහිදී මොහොමඩ් ඊබ්‍රාහිම් නමැත්තෙකු එම අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් නොවන බව අපට තහවුරු විය.
ඉන් අනතුරුව, වෙනත් දිස්ත්‍රික්කයක හෝ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමලේඛනයේ හෝ එම නම සහිත අපේක්ෂකයෙකු ඉදිරිපත් කර තිබේද යන්න අප විසින් පරීක්ෂා කරන ලද අතර එහිදීද එවැන්නෙකු ඊට ඇතුළත් කර නොමැති බව තහවුරු විය.
මේ සම්බන්ධයෙන් අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් සිදු කළ විමසීමේදී ඔවුන් ප්‍රකාශ කළේ 2015 මහ මැතිවරණයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලෙස ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් නම් කර සිටියද, මෙවර ජාතික ජන බලවේගයේ කිසිදු අපේක්ෂක ලැයිස්තුවකට ඔහු ඇතුළත් කර නොමැති බවයි.
ප්‍රකට කුළුබඩු ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වශයෙන් හඳුනාගෙන ඇති මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන අයගේ පියා වේ.
ඒ අනුව සමාජ මාධ්‍ය පෝස්ටුවේ සඳහන් වන අයුරින් මොහොමඩ් ඊබ්‍රාහිම් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු නොවන බව FactSeeker තහවුරු කරයි.