සීතාවක ප්‍රාදේශීය සභාව සදහා නව සභාපතිවරයකු පත් කර ගත්තා ද?

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු මෙතෙක් තෝරාපත් කර නොමැති අතර පත්කර ඇත්තේ සීතාවක නගර සභාව සදහා සභාපතිවරයකු බව FactSeeker තහවුරු කරයි.
by Anonymous |
ජූලි 17, 2025

සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම ඉකුත් 15 දා පැවැත්විණි.
එහිදී නව සභාපතිවරයකු පත් කර ගත් බව ඇතැම් මාධ්‍ය වාර්තා පළ වූ අතර තවත් මාධ්‍ය වාර්තාවල පළ වූයේ එදින ද සභාපතිවරයෙකු පත් කර ගැනීමට නොහැකි වූ බවයි.
මේ සම්බන්ධයෙන් පරස්පර පුවත් වාර්තා වී තිබීම නිසා factseeker ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කළේය.
” සීතාවක සමගිය බලය පෙන්නයි : රහසින් දිනන්න ගිය මාලිමාව පරාදයි ” යන ශීර්ෂ පාඨයෙන් newshub.lk වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.
එය මෙතැනින් – https://www.facebook.com/share/p/1F62asPzCz/
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව ජන්ද 14,ක් ලබා ගනිමින් සමගි ජනබලවේගයේ සුනිල් ජයරත්න සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්ව ඇති බවත් ජාතික ජනබලවේගයේ සභාපති ලෙස නම් කළ මන්ත්‍රීවරයා ලබා ගත්තේ ජන්ද 11ක් බවත් එහි වැඩි දුරටත් දක්වා තිබිණි. එහි උප සභාපති ධූරය සඳහා ස්වාධීන කණ්ඩයම නියෝජනය කළ අජිත් වියමුණි සොයිසා පත් වූ බවත් එම පුවතේ වැඩිදුරටත් සඳහන් වුණි.
Factseeker මෙම පුවත තහවුරු කර ගැනීම සඳහා ප්‍රධාන ධාරාවේ පුවත්පත් වාර්තා කර ඇති ආකාරය සොයා බැලීය. ඒ අනුව අපි දිවයින පුවත්පත මේ පිළිබඳ පළ කර තිබූ ප්‍රවෘත්තිය දෙස අවධානය යොමු කළ අතර එහි සඳහන් වූයේ රහස් ඡන්දයකට විරෝධය පළ කරමින් විපක්ෂයේ සභිකයින් සභාවෙන් පිටව යාම නිසා එදින ද සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට නොහැකි වූ බවයි. “රහස් ඡන්දයට විරෝධය පා විපක්ෂය එළියට බසී. සීතාවක සභාපති පත් කර ගැනීම ඊයේත් හබක්” යනුවෙන් දිවයින පුවත්පත වාර්තා කර තිබිණි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සදහා සීතාවක ප්‍රාදේශීය සභා ලේකම් කේ.ඒ චන්දන පත්මසිරි මහතා සම්බන්ධ කර ගත් අතර එහිදී ඔහු පැවසුයේ සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු මේ වනතෙක් පත්කරගෙන නොමැති බවය. සීතාවක ප්‍රාදේශීය සභාවට සභාපතිවරයෙකු පත් කර ගැනීම සදහා ඉකුත් 15 වෙනි දින පැවැත්වූ රහස් ජන්දයට විරෝධය පළ කර විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටත්ව යාමෙන් සභාවේ ගණපූර්ණය නොමැති වූ අතර එම නිසා දින නියමයකින් තොරව සභාව කල් දැමූ බවද ලේකම්වරයා පැවැසීය. ඒ අනුව සභාපතිවරයා පත් කර ගැනීමට අපොහොසත් වූ බවත් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එදින පස්වරුවේ පැවැති සීතාවක නගර සභාවේ සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ විවෘත ඡන්දයෙන් සමගි ජනබලවේගය නියෝජනය කරන සුනිල් ජයරත්න මන්ත්‍රීවරයා සභාපතිවරයා ලෙස පත් කර ගෙන ඇත.
සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු මෙතෙක් තෝරාපත් කර නොමැති අතර පත්කර ඇත්තේ සීතාවක නගර සභාව සදහා සභාපතිවරයෙකු බව FactSeeker තහවුරු කරයි. සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න පත් කර ඇති බව newshub.lk වෙබ් අඩවිය පළ කළ ප්‍රවෘත්තිය සාවද්‍ය බවත් FactSeeker වැඩිදුරටත් තහවුරු කරයි.