රතුගල ආදිවාසි නව නායකයා සරසවි සිසුවෙක් නෙවෙයි

රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩාරලාගේ සුදා වන්නියා ඇත්තන් හදිසියේ මිය යාමෙන් පුරප්පාඩු වූ නායක ධූරයට පත් වූයේ සරසවි සිසුවෙකු බව සමාජ මාධ්‍ය ජාලවල පමණක් නොව ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලද ප්‍රවෘත්ති පළ වී තිබිණි.
by Anonymous |
මැයි 14, 2026

නිගමනය: මෙම ප්‍රවෘත්තිය අසත්‍යකි.
ඒ අනුව ඉකුත් 11 දා දිණමිණ පුවත්පතේ මුල් පිටුවේ එය වාර්තා කර තිබුණේ, ” රතුගල නව ආදිවාසී නායකයා සරසවි සිසුවෙක්” බවයි. එමෙන්ම දිණමිණ වෙබ් අඩවියේ ද මෙම ප්‍රවෘත්තිය පළ කර තිබිණි. අද දෙරණ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ අකෘතියට අනුව සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වන පෝස්ටුවක් ද Factseeker නිරීක්ෂණය කළේ ය.

විමර්ශනය: මේ අතර රතුගල ආදිවාසී සංවර්ධන සමිතිය නමින් ඔවුන්ගේ ලිපි ශීර්ෂයකින් යුතුව යොමු කරන ලද මාධ්‍ය නිවේදනයක් ද මේ අතර සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූයේ ය.
එහි සඳහන් වූයේ රතුගල ආදිවාසීන්ගේ නව නායකයා ලෙස දානිගල මහ බණ්ඩාරලායවගේ නිශාන්ත කුමාර පත් කළ බවයි. ඔහු හිටපු රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩාරලාගේ සුදා වන්නිය ඇත්තන්ගේ වැඩිමහල් පුත්‍රයා ද වන්නේ ය.

සමහර මාධ්‍යවල ඔහුගේ නම නිපුන ලෙසත් ඔහු සරසවි ශිෂ්‍යයෙකු බවත් සඳහන් කර ඇති අතර ඒවා සම්පූර්ණ අසත්‍ය බව ද එම ලිපියෙහි සඳහන් වෙයි. Factseeker මේ සම්බන්ධයෙන් රතුගල ආදාවාසී සංවර්ධන සමිතියේ සභාපති ඩී.එම්.ඩී. දිසානායකගෙකන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහුද මාධ්‍ය නිවේදනයේ අන්තර්ගත කරුණු සනාථ කළේ ය.
මේ අතර දිණමිණ පුවත්පත ඊයේ (12) රතුගල ආදිවාසී නව නායකයා සරසවි සිසුවෙක් බව ඉකුත් 11 දා පළ වූ ප්‍රවෘත්තිය ප්‍රමාද දොෂයකින් සිදුවූ වරදක් බව සඳහන් කර තිබිණි.

එමෙන්ම අද දෙරණ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළ වූ “රතුගල නව ආදිවාසී නායකයා ලෙස සබරගමු සිසු නිපුන ඇත්තන් පත් කරයි”යනුවෙන් පළ කර ඇති පොස්ටුව එම වෙබ් අඩවියේ ආකෘතියට අනුව සකස් කළ ව්‍යාජ ප්‍රවෘත්තියක් බව වැඩිදුරටත් නිරීක්ෂණය කිරීමේදී දැනගත හැකි විය.
ඒ අනුව රතුගල ආදිවාසී නායකයා සරසවි සිසුවෙක් බවට පළ වන වාර්තා අසත්‍ය බව Factseeker තහවුරු කරයි