කා.වි.දෙ. නිල වෙබ් අඩවියේ දෙරණ නාලිකාවේ විකාශන දර්ශන ඇතුළත් බවට පළවන සමාජ මාධ්‍ය සටහන් සාවද්‍යයි.

දෙරණ නාලිකාවේ පුවත් විකාශනයක දර්ශනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළකර ඇති බවට පෙන්වන ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරික්ෂණය කළේය.
by Anonymous |
දෙසැම්බර් 9, 2025

පසුගිය දින කිහිපයේ ඇතිවූ ආපදා තත්වය සම්බන්ධයෙන් වන පූර්ව දැනුම් දීම් පිළිබදව සමාජ මාධ්‍ය හරහා දැඩි සේ කතාබහ ට ලක්විය. ඊට හේතුව වූයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නොවැම්බර් 12 වන දින සිට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවට පළවූ අදහස්ය.මේ පිළිබදව පරස්පර අදහස් සමාජගතවී තිබුණි.
ඒ අතර දෙරණ නාලිකාවේ පුවත් විකාශනයක දර්ශනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් පිටුව තුළ ඇතුළත් කර ඇති බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව FactSeeker හට නිරීක්ෂණය විය.

දෙරණ නාලිකාවේ විකාශය වූ Big Focus වැඩසටහනට සම්බන්ධ වී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක අතුල කරුණානායක නොවැම්බර් 12 වනදා දැක්වූ අදහස් ලෙස දක්වමින් මෙම පළකිරීම සිදු කර තිබුණි. එම අදහස් පළකිරීම නොවැම්බර් මස 28 වනදා දෙරණ නාලිකාවේ රාත්‍රී 6.55 ප්‍රවෘත්ති විකාශයේ විකාශනය කෙරිණි. එහි ඡායාරූපයක් මෙලෙස උපුටා දක්වා ඇති බව නිරීක්ෂණය විය.
සමාජ මාධ්‍ය තුළ මෙය උපුටා දක්වා තිබුණේ දෙසැම්බර් 08 වනදාය. එබැවින් නොවැම්බර් 28 වන දින සිට දෙසැම්බර් 8 වන දින දක්වා, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ එවැනි ප්‍රවෘත්ති පළ කර ඇත්දැයි අපි පරීක්ෂා කළ අතර එවැනි කිසිදු වාර්තාවක් නිරීක්ෂණය කිරීමට නොහැකි විය.
ඊට පෙර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ කිසිදු ප්‍රවෘත්ති ආයතනයකින් කිසිදු ප්‍රවෘත්තියක් පළ කර නොතිබුණි. එබැවින්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ කිසිදු ප්‍රවෘත්ති ආයතනයක් හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකම් ප්‍රකාශයට පත් කර නොමැති බව අපට තහවුරු කර ගැනීමට හැකි විය.
එවැනි පළකිරිමක් සත්‍ය ලෙසම සිදු කළේද ? යන්න පිළිබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගෙන් අප කළ විමසිමේදී ඔහු සඳහන් කර සිටියේ එවැනි කිසිදු ආකාරයක පළකිරීමක් සිදු නොකළ බවයි. එමගින් එය සංස්කරණය කොට පළ කරන ලද්දක් බව අනාවරණය විය.

ඒ අනුව සමාජ මාධ්‍ය තුළ දෙරණ නාලිකාවේ Big Focus වැඩසටහනට සම්බන්ධවී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉදිරි කාලගුණය පිළිබද දැක්වූ අදහස් ලෙස දක්වමින් දෙරණ නාලිකාවේ විකාශන දර්ශනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කර ඇති ලෙසින් හුවමාරු වන ඡායාරූප සාවද්‍ය බව FactSeeker තහවුරු කරන ලදී.