කවුරු ජනාධිපති වුණත් රටේ ලොක්කා පක්ෂ ලේකම් බව ටිල්වින් කිවුවා ද?
‘ජනාධිපති ලෙස කවුරුන් පත් වුවද රටේ නායකත්වය හිමි වන්නේ පක්ෂ ලේකම්ට බව’ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් කරන ලදැයි දැක්වෙන ප්‍රකාශයක් ඇතුළත් පෝස්ටුවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
by Anonymous |
සැප්තැම්බර් 4, 2024
“අනිත් පක්ෂ වගේ නෙවෙයි. අපේ පක්ෂේ වෙනස්. සම්ප්රදායක් තියෙනවා. ජනාධිපති කවුරු වුනත් රටේ ලොක්කා පක්ෂ ලේකම්.” යනුවෙන් අදාළ පෝස්ටුවේ සඳහන් කර ඇත.
මේ පිළිබඳව Factseeker කළ සොයා බැලීමේදී අදාළ ප්‍රකාශය 2024.09.02 දින සිරස newsfirst විසින් පළ කරන ලද සමාජ මාධ්‍ය සටහනක් ලෙස නිර්මාණය කර ඇති බව නිරීක්ෂණය විය.
මෙවන් සමාජ මාධ්‍ය සටහනක් 2024.09.02 හෝ ඊට ආසන්න දිනක newsfirst.lk මාධ්‍ය ජාලයට අයත් කිසිදු සමාජ මාධ්‍ය ගිණුමක හෝ පිටුවක පළ කර නොමැති බව අපට තහවුරු විය.
ඉන්පසුව මෙහි සත්‍යාසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා Factseeker ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන් විමසුවෙමු. එහිදී ඔවුන් ප්‍රකාශ කළේ, මෙය ව්‍යාජ ලෙස සැකසූ සමාජ මාධ්‍ය සටහනක් බවය. ටිල්වින් සිල්වා විසින් කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශ නොකළ බව ද එම මාධ්‍ය අංශය වැඩිදුරටත් අවධාරණය කළේ ය.
ඒ අනුව ටිල්වින් සිල්වා විසින් “අනිත් පක්ෂ වගේ නෙවෙයි. අපේ පක්ෂේ වෙනස්. සම්ප්රදායක් තියෙනවා. ජනාධිපති කවුරු වුනත් රටේ ලොක්කා පක්ෂ ලේකම්.” යනුවෙන් ප්‍රකාශයක් සිදු කර නොමැති අතර newsfirst මාධ්‍ය ජාලය ද එවැනි ප්‍රවෘත්තියක් පළ කර නැති බව FactSeeker තහවුරු කරයි.