කච්චතිව් දූපත් සම්බ්යෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුමක් අත්සන් කළාද?
පෝක් සමුද්‍ර සන්ධියේ සහ කච්චතිව් දූපත් මායිම් සම්බන්ධයෙන් නව ගිවිසුමක් අත්සන් කර ඇති බව ̒ද හින්දු̕ පුවත්පතේ පළ වූ පුවතක් පිළිබදව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණි.
by Anonymous |
ජූලි 3, 2024
“අවුරුදු පනහකට පෙර; කචතිව්හි ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් ”යන ශීර්ෂ පාඨය යටතේ ̒ද හින්දු̕ පුවත්පතේ වෙබ් අඩවියේ ඉකුත් 28 දා මෙම ප්‍රවෘත්තිය පළ කර තිබිණි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පෝක් සමුද්‍ර සන්ධිය ආශ්රිත මුහුදු තීරයේ දෙරට අතර මායිම සහ ඒ ආශ්රිත ගැටළු සම්බන්ධයෙන් පුළුල් එකගතාවකට පැමිණ ඇතැයි නිල ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම ප්‍රවෘත්තියේ සදහන් කර තිබිණි.
මෙය බොහෝ දෙනෙකු හුවමාරු කර ගෙන තිබූ නිසා FactSeeker එම ප්‍රවෘත්තිය විමර්ශනය කළ අතර, ශ්‍රී ලංකාව සහ අසල්වැසි රට වන ඉන්දියාව අතර කිසියම් ගිවිසුමක් ඇති කර ගෙන තිබේද? යන්න පිළිබදව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රිගෙන් විමසා සිටියෙමු.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, මෙය මීට වසර 50 කට පෙර ශ්‍රී ලංකා රජයේ ඉහළම මට්ටමින් සහ ද්විපාර්ශවික සාකච්ඡා අවසන් කර ඇති අතර සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු හේතුවක් නැති බවයි. එමෙන්ම නැවත එවැනි සූදානමක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නැති බව ද අලි සබ්රි පෙන්වා දුන්නේ ය.
ඒ අනුව, පෝක් සමුද්‍ර සන්ධියේ සහ කච්චතිව් දූපතේ මායිම් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳ පළවන පුවත් පදනම් විරහිත බව FactSeeker තහවුරු කරයි.