අජිත් මාන්නප්පෙරුම ජනාධිපති සමග රට ගියේ සභාපති ලෙසයි
සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග විදේශ සංචාරයක් සදහා සහභාගී වූ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
ජූනි 13, 2024
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පක්ෂ මාරු කිරීම් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල දිනෙන් දින විවිධ අදහස් හුවමාරු වීම් ද වැඩි වෙමින් පවතී. එහිදී ජනාධිපතිවරයා සමග විදේශ සංචාරවලට මෙන්ම වෙනත් උත්සව අවස්ථාවලට සහභාගී වූ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් එවැනි ආරංචි පැතිර යාම සුලබ වී ඇත.
මේ අතර ජනාධිපතිවරයාගේ විදෙස් සංචාරයකට අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා සහභාගී වී ඇති බවට සදහන් කරමින් “දවල්ට සජිත් රෑට රනිල්.රනිල් එක්ක රට සවාරි යන අජිත් මාන්නප්පෙරුම” යනුවෙන් පෝස්ටුවක් මෙසේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතී. මෙය මෑතකදී කළ සංචාරයක ඡායාරූපයක් ද යන්න පිළිබදව සොයා බැලීමට factseeker පියවර ගත්තෙමු.
මේ සම්බන්ධයෙන් factseeker අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසුවේ, ඉකුත් දෙසැම්බර් මාසයේදී ඩුබායි හි පැවැති “COP 28 දේශගුණික විපර්යාස සමුළුව” සඳහා තමා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සහභාගී වූ බවයි. තමා ඒ සඳහා සහභාගී වුයේ පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස බව ය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බැලීමේදී 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ඩුබායි හි පැවැති COP 28 දේශගුණික විපර්යාස සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක, මධුර විතානගේ, අජිත් මාන්නප්පෙරුම, එම්.රමේෂ්වරන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති පරිසර උපදේශක ආචාර්ය ආනන්ද මල්ලවතන්ත්රී, මුදල් අමාත්‍යාංශයේ උපදේශක දේශාල් ද මෙල්, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්යක්ෂ දිනූක් කොළඹගේ සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන පිරිස මේ සදහා සහභාගී ඇති බව නිරීක්ෂණය විය.
මෙම ඡායාරූපය අතැතිව ජාතික ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද ඊයේ (12) ප්රවෘත්ති සාකච්ඡාවක දී අදහස් ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව මෙම ඡායාරුපය 2023 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී ඩුබායි හි පැවැති “COP 28 දේශගුණික විපර්යාස සමුළුවේ” දී ලබා ගත් ඡායාරූපයක් බව factseeker තහවුරු කරයි.