හරිනි අමරසූරිය මෙහෙම කිව්වා ද?
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය එන්න එන්නම ළං වන විට දේශාපාලන කරළිය ද දිනෙන් දින උණුසුම් වෙමින් පවතී. ඊට සමගාමීව අසත්‍ය ප්රවෘත්ති ප්‍රචාරය වීම ද දිනෙන් දින වැඩි වෙමින් පවතී. ඒ අතර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය කළ බව කියන ප්‍රකාශ කිහිපයක් Factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
අගෝස්තු 27, 2024
“දියවඩන නිළමේ කියන පුද්ගලයාගේ රළු හැසිරීම පිළිකුල් සහගතයි” – අපගේ නීතීවේදීන් දැනටමත් ඔහුට ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි” යනුවෙන් හරිනි අමරසුරිය ප්‍රකාශ කළ බවට සඳහන් පුවතක් මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී. මෙය “දසත පුවත්” වෙබ් අඩවියේ පළ කර ඇති බව හුවා දක්වා තිබිණි.
එමෙන්ම “භික්ෂු සමුළුව මාලිමාවේ වැඩක් නෙවෙයි ඒක ජවිපෙ වැඩක්. කිසිසේත්ම මාලිමාව ජාතිවාදී තැනකට තල්ලු වෙන්නේ නැහැ” යනුවෙන් හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය සිදුකළේ යැයි සඳහන් ප්‍රකාශයක් ඇතුළත් පෝස්ටුවක් ද සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වෙමින් පවතී.
මෙම ප්‍රකාශයන්වල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීමට factseeker කටයුතු කළේය.
“දියවඩන නිළමේ කියන පුද්ගලයාගේ රළු හැසිරීම පිළිකුල් සහගතයි” – අපගේ නීතීවේදීන් දැනටමත් ඔහුට ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන ඉවරයි” යන ප්‍රකාශය පිළිබඳ අවධානය යොමුකිරීමේදී factseeker මුලින් ම “දසත පුවත්” වෙබ් අඩවිය පරීක්ෂා කර බැලූ අතර එහි එවැනි පුවතක් පළකර නොතිබුණි. ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටු තුළ ද එවැන්නක් සඳහන් කර නොතිබුණි.
මේ සම්බන්ධයෙන් ආචාර්ය හරිනි අමරසුරියගෙන් කළ විමසීමේදී ඇය පැවසුවේ, මෙවැනි කිසිදු ප්‍රකාශයක් තමන් විසින් නොකළ බවයි. එමෙන්ම තමන් දළදා පෙරහර සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව ද ඇය සඳහන් කළාය.
මේ අතර හුවමාරු වූ “භික්ෂු සමුළුව මාලිමාවේ වැඩක් නෙවෙයි ඒක ජවිපෙ වැඩක්. කිසිසේත්ම මාලිමාව ජාතිවාදී තැනකට තල්ලු වෙන්නේ නැහැ” යන ප්‍රකාශය “සිරස News 1st” ලාංඡනය සහිතව හුවමාරු වී තිබිණි.
එම මාධ්‍ය ආයතනය මේ පිළිබඳව පළකිරීමක් සිදුකර ඇතිද යන්න සොයා බැලු අතර ඔවුන්ගේ වෙබ් අඩවි සහ නිල සමාජ මාධ්‍ය තුළ ද එවැන්නක් පළකර නොතිබුණි. මේ සම්බන්ධයෙන් සිරස ආයතනයෙන්ද විමසීමක් කළ අතර ඔවුන්ද පැවසුයේ එවැනි පුවතක් පළ නොකළ බවයි.
එමෙන්ම අනෙතුත් ප්‍රධාන මාධ්‍ය ආයතන මෙම පුවත වාර්තාකර ඇද්දැයි සොයා බැලු අතර එවැන්නක් ද සොයා ගැනීමට නොහැකි විය.
Factseeker මේ සම්බන්ධයෙන් හරිනි අමරසුරියගෙන් විමසීමක් කළ අතර එහිදී ඇය පැවසුවේ මෙවැනි ප්‍රකාශයක් තමන් සිදු නොකළ බවයි. මේ දිනවල තමා ඉලක්ක කරගනිමින් විවිධ අසත්‍ය ප්‍රකාශ පළ කරන බවත් හරිනි මන්ත්‍රීවරිය සඳහන් කළේය.
ඒ අනුව “දියවඩන නිළමේ කියන පුද්ගලයාගේ රළු හැසිරීම පිළිකුල් සහගතයි” යන ප්‍රකාශය සහ “භික්ෂු සමුළුව මාලිමාවේ වැඩක් නෙවෙයි, ඒක ජවිපෙ වැඩක්. කිසිසේත්ම මාලිමාව ජාතිවාදී තැනකට තල්ලු වෙන්නේ නැහැ” යනුවෙන් ආචාර්ය හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය සිදුකළේ යැයි සඳහන් ප්‍රකාශයන් අසත්‍ය බව Factseeker තහවුරු කරයි.