පාලමක් කඩා වැටෙන බවට හුවමාරු වන AI වීඩියෝව: Grok AI ලබාදුන් පිළිතුරුත් වැරදියි

අයහපත් කාලගුණය හේතුවෙන් පාලමක් කඩා වැටී, වාහන සහ මිනිසුන් ගඟට ඇද වැටෙන බිහිසුණු වීඩියෝවක් අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් පවතී. "මෙය නැරඹීම පවා අතිශය බියකරුයි" (This is absolutely terrifying to watch) යනුවෙන් සඳහන් කරමින් 'X' (ට්විටර්) සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙම වීඩියෝව ප්‍රචාරය වී තිබුණි.
by Anonymous |
පෙබරවාරි 9, 2026

මෙම සිදුවීම සත්‍යයක්ද? යන්න පිළිබඳව බොහෝ පරිශීලකයින් ප්‍රශ්න කර තිබූ අතර, එහි සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ‘Grok’ නමැති AI සහායකයාගේ සහය ලබා ගැනීමටද බොහෝ පිරිසක් උත්සාහ කර තිබුණි.
(Fact-Check)
කෙසේ වෙතත්, මෙම වීඩියෝව පිළිබඳව Factseeker කළ විමර්ශනයේදී අනාවරණය වූයේ, මෙහි සත්‍යතාව සහ Grok AI ලබාදුන් පිළිතුරු අතර විශාල පරස්පරතාවක් පවතින බවයි. මෙහිදී Grok AI විසින් පරිශීලකයින් නොමඟ යවන සුළු වැරදි තොරතුරු සපයා ඇති බව නිරීක්ෂණය විය.
අදාළ විමර්ශනයට අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම වීඩියෝව අසත්‍ය බව තහවුරු විය. මෙය සම්පූර්ණයෙන්ම AI මගින් නිර්මාණය කරන ලද්දකි.

විමර්ශනයේදී අනාවරණය වූ ප්‍රධාන කරුණු:
Grok ලබාදුන් පිළිතුරුවල සඳහන් වූයේ, මෙය සැබෑ සිදුවීමක් බවත්, එය 2018 වසරේ චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් බවත්ය. තවත් පිළිතුරක දැක්වුණේ මෙය 2024 වසරේ චීනයේ ෂැන්සි ප්‍රාන්තයේ (Zhaohui County, Shaanxi Province, China) සිදු වූවක් බවයි. මීට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක් සඳහන් කරමින් Grok විසින් විවිධ පිළිතුරු ලබා දී තිබුණි.
නමුත් මෙම වීඩියෝවේ දර්ශන ‘Reverse Image Search’ තාක්ෂණය ඔස්සේ පරීක්ෂා කිරීමේදී, මෙවැනි අනතුරක් සිදු වූ බවට කිසිදු විශ්වාසදායක පුවත් වාර්තාවක් හෝ නිල සමාජ මාධ්‍ය සටහනක් හමු නොවීය. ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය පවා මෙවැනි පුවතක් වාර්තා කර නොතිබුණි.
වීඩියෝවේ ඇති පරස්පරතා
මෙම වීඩියෝව ඉතා සූක්ෂ්ම ලෙස නිරීක්ෂණය කිරීමේදී එහි ඇති දෝෂ රැසක් හඳුනාගත හැකි විය. විශේෂයෙන්ම මෙහි සිටින මිනිසුන්ගේ ක්‍රියාකාරකම් කෘත්‍රිම බවක් පෙනෙන්නට තිබේ. මිනිසුන් ජලයට වැටීමට පෙරම වාතයේ නොපෙනී යන අවස්ථා (disappear) මෙහි දැකගත හැකිය.

AI මඟින් නිර්මාණය කළ එකක්ද?
මෙම වීඩියෝවේ සත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අප Imgdetector.ai මෙවලම භාවිතා කරමින් එය පරීක්ෂාවට ලක් කළෙමු. එහිදී තහවුරු වූයේ, මෙම දර්ශන සියයට 92කට වඩා වැඩි සම්භාවිතාවකින් AI මඟින් නිර්මාණය කරන ලද ඒවා බවයි.

Grok ලබාදුන් වැරදි පිළිතුරු
මෙම වීඩියෝවට පහළින් අදහස් දක්වමින් බොහෝ පිරිසක් මෙය සත්‍යයක් දැයි විමසා තිබුණි. එහිදී Grok AI විසින් මෙය සැබෑ පාලම් කඩා වැටීමක් බව පවසමින් පරිශීලකයින්ව නොමඟ යවා ඇත. Grok විසින් පාලම කඩා වැටුණු ස්ථානය, දිනය සහ මියගිය සංඛ්‍යාව පවා අසත්‍ය ලෙස ඉදිරිපත් කර තිබුණි.

විශේෂයෙන්ම CNN, Al Jazeera, The Guardian, Newsweek, People’s Daily, WION වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මෙම සිදුවීම වාර්තා කර ඇති බවටද Grok අසත්‍ය ප්‍රකාශ සිදු කර තිබුණි. ඉතා සීමිත අවස්ථාවලදී පමණක් මෙය AI නිර්මාණයක් බව Grok නිවැරදිව ප්‍රකාශ කර තිබුණි.
සටහන: කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සමහර අවස්ථාවලදී තොරතුරු වැරදි ලෙස වටහාගෙන, අසත්‍ය කරුණු ඉතා විශ්වාසදායක අයුරින් ඉදිරිපත් කරයි. මෙය “AI Hallucination” ලෙස හඳුන්වනු ලබයි.

නිගමනය
ඒ අනුව, අන්තර්ජාලයේ හුවමාරු වන මෙම වීඩියෝව සැබෑ සිදුවීමක් නොවන අතර, එය සම්පූර්ණයෙන්ම AI මඟින් නිර්මාණය කරන ලද වීඩියෝවක් බව තහවුරු වේ.
