හුවමාරු වන ඡායාරූපය 88/89 භීෂණ සමයේ නොවේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් 2025.03.15 දින රැස්වූ පාර්ලිමේන්තුවේදී තම කථාව අතරතුර කිසියම් ඡායාරූපයක් සභාවට ප්‍රදර්ශනය කළේය. එය පෙන්වමින් ඔහු ප්‍රකාශ කළේ, එම ඡායාරූපය ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාත්මික නායකයා පුද්ගලයෙකුව නිරුවත් කර පහර දෙන අවස්ථාවක් බවයි.
by Anonymous |
මාර්තු 17, 2025

මෙම ඡායාරූපය ඉන්පසු සමාජ මාධ්‍ය හරහා සංසර්ණය විය. එමෙන් ම මෙම ඡායාරූපය අවස්ථා කිහිපයකදීම සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම නිසා FactSeeker මෙම ඡායාරූපයේ සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.
එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මෙතැනින්.
මෙම ඡායාරූපය Google Lens හරහා Reverse Image Search කිරීමේදී අපට නිරීක්ෂණය වූයේ එම ඡායාරූපය 1983 කළු ජූලියේ සිදුවීමකට සම්බන්ධ ඡායාරූපයක් බවයි. මෙම ඡායාරූපය පළ කර තිබූ වාර්තාවල සඳහන් වූයේ, එම ඡායාරූප චන්ද්‍රගුප්ත අමරසිංහ නමැති ඡායාරූප ශිල්පියා විසින් මෙය සිය කැමරා කාචයට හසු කර ගෙන තිබූ බවයි. ඔහු එවකට “ඇත්ත” පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කර තිබේ. මෙම සිදුවීම වී ඇති ස්ථානය ලෙස එම වාර්තා පෙන්වා දෙන්නේ බොරැල්ල මංසන්ධිය බවයි.
මෙරට ස්වාධීන කරුණු පරීක්ෂා කිරීමේ ආයතනයක් වන Fact Crescendo Sri Lanka මීට වසර කිහිපයකට පෙර මෙම ඡායාරූපය කරුණු පරීක්ෂාවට ලක් කර තිබේ. එම කරුණු විමර්ශනය අනුව මෙම ඡායාරූපය මුල් වරට පළ කර ඇත්තේ 1997 වර්ෂයේදී රාවය පුවත්පතේය.
Fact Crescendo Sri Lanka සිදු කළ කරුණු විමර්ශනය මෙතැනින්.
ඒ අනුව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ප්‍රදර්ශනය කළ ඡායාරූපය 1983 කළු ජූලියට සම්බන්ධ එකක් බවත්, එහි සිටින තැනැත්තා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා නොවන බවත් FactSeeker තහවුරු කරයි.