ජනපති නියමයෙන්, ඉන්ධන පිරවුම්හල් රජයට පවරා ගන්නා කතාව බොරුවක්!

අසාධාරණ ලෙස කොමිස් ලබාදිය නොහැකි බැවින් ඉන්ධන පිරවුම්හල් රජයට පවරා ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කර ඇති බව හැඟවෙන පෝස්ටු සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමට පටන් ගෙන තිබේ. එම පෝස්ටු 'එසැණ' ලේබලය සහිතව නිර්මාණය කර ඇති බව පෙනීයන නමුත්, 'එසැණ' එවැනි පුවතක් මෑතකාලීනව වාර්තා කර නොතිබූ බැවින් එහි සත්‍ය අසත්‍යතාව පිරික්සා බැලීමට FactSeeker තීරණය කළේය.
by Anonymous |
මාර්තු 4, 2025

එම පෝස්ටුවල සඳහන් වූයේ, “වැඩිය දැඟලුවොත් ෂෙඩ් රජයට ගන්නවා. අසාධාරණ කොමිස් දෙන්න බෑ. – ජනපති තරයේ අවධාරණය කරයි” යනුවෙනි.
‘එසැණ මීඩියා’ ශ්‍රී ලංකාව පාදක ඩිජිටල් පුවත් සේවාවක් වන අතර, එය එසැණ වෙබ් අඩවිය, ෆේස්බුක්, X, යූටියුබ් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ සහ හෙළකුරු ජංගම දුරකථන යෙදුම ඔස්සේ පුවත් බෙදා හරිනු ලැබේ.
අප, මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂා කළ අතර මෙවැනි පුවතක් කිසිදු ‘එසැණ’ වේදිකාවක ආසන්න දිනයකදී පළ කර නොමැති බව එහිදී සනාථ විය.
පෝස්ටුවේ සඳහන් ඡායාරූපය සහිතව ‘එසැණ’, 2024.02.06 දින පුවතක් පළ කර තිබූ නමුත් ඒ වෙනත් කරුණක් සම්බන්ධ පුවතකි.
ඒ අනුව මෙම පෝස්ටු පැරණි ප්‍රවෘත්ති වාර්තාවේ ඡායාරූපය යොදාගනිමින් ව්‍යාජ ලෙස සකසා පළ කර ඇති බව FactSeeker ට තහවුරු විය.
ජනාධිපතිවරයාගේ මෙම ඡායාරූපය මුල් වරට පළ කර තිබුණේ 2024.10.16 දින ජනාධිපතිවරයාගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් තුළය. එය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට සහභාගී වූ අවස්ථාවක ඡායාරූපයකි.
මෙවැනි පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හෝ රජයේ හෝ ජනාධිපතිවරයාගේ නිල මාධ්‍ය වාර්තා කර ඇත්ද යන්නද අපි පරීක්ෂා කළෙමු. එහෙත් එවැනි පුවතක් වාර්තා කර නොතිබිණ.
මේ සම්බන්ධයෙන් FactSeeker ජාතික ජන බලවේගයේ මාධ්‍ය ඒකකයෙන් ද විමසීමක් කළ අතර ඔවුන් විසින් ද තහවුරු කළේ ජනාධිපතිවරයා එබඳු ප්‍රකාශයක් සිදු කර නොමැති බවය.
ඒ අනුව, ඉන්ධන පිරවුම්හල් රජයට පවරා ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශ කරනු ලැබූ බව දැක්වෙන පෝස්ටු ව්‍යාජ ලෙස සකස් කර ඇති පෝස්ටු බව FactSeeker තහවුරු කරයි.