හුවමාරු වන වීඩියෝවේ සිටින පුද්ගලයා ටික් ටොක් හිමිකරුද?

ලොව පුරා ප්‍රචලිත සමාජ මාධ්‍ය අයිකනයක් වන ටික් ටොක් සමාජ ජාලයේ හිමිකරු බව සඳහන් කරමින් පාද අහිමි ව ආබාධිත පුද්ගලයෙකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව FactSeeker නිරීක්ෂණය කළේය
by Anonymous |
පෙබරවාරි 26, 2025

හුවමාරු වන මෙම විඩියෝවල මොහු ටික් ටොක් සමාජ මාධ්‍යයේ නිර්මාතෘ බව බොහෝ පරිශීලකයින් විශ්වාසය පළ කර ඇති අතර ඇතැම්හු ඒ ඔහු නොවන බව සදහන් කර ඇත. මෙම පරස්පරතාවය නිසා මේ පිළිබද Factseeker සොයා බැලීය.
Factseeker පළමුව ටික් ටොක් හි නිර්මාතෘ හා හිමිකරු වන්නේ කවුරුන්ද? යන්න පිළිබඳව විමර්ශනය කළේය.
ටික් ටොක් යනු චීනයේ ByteDance සමාගම සතු කෙටි ආකෘති වීඩියෝ රැඳවුම් සහිත සමාජ මාධ්‍ය සේවාවකි.
එය 2016 වසරේදී නිකුත් කර ඇති අතර එහි නිර්මාතෘ Zhang Yiming නැමැති චීන ජාතික තාක්ෂණික විශේෂඥයාය. ඔහු ByteDance හි සම නිර්මාතෘ ද වේ.
ඒ අනුව වීඩියෝවේ සිටින මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු නිරීක්ෂණය කළේය. මොහු Chen Zhou නැමැති ධනාත්මක චින්තනය පිළිබඳ දේශකයෙකි. මොහු මුල් කාලයේ වීදි ගායකයෙකි. පසුකාලීනව ඔහු කළ අභියෝගාත්මක කඳු තරණයක් නිසා ප්‍රසිද්ධියට පත්විය.ඔහු මේ වන විට සුප්‍රසිද්ධ දේශකයෙකු බවට පත්ව ඇත.
Chen Zhou ට විශාල ප්‍රේක්ෂක ප්‍රජාවක් සිටින බව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරිශීලනය කිරීමේදී පැහැදිලි වෙයි.
ඒ අනුව ටික් ටොක් සමාජ ජාලයේ නිර්මාතෘ හා හිමිකරු ලෙස සදහන් කරමින් සංසරණය වන වීඩියෝ හි සත්‍යතාවක් නොමැති බවත් එහි සිටින්නේ ප්‍රසිද්ධ දේශකයෙකු බවත් FactSeeker තහවුරු කරයි.