බීමතින් ගිය මන්ත්‍රීවරයෙක් සුපිරි රිය පාර්ලිමේන්තුවේ පොකුණට පෙරලා ගත්තාද?
“බීමතින් ගිය මාලිමාවේ මන්ත්‍රී සුපිරි රිය පාර්ලිමේන්තුවේ පොකුණට පෙරලා ගනියි. රණවිරුවෝ මහ වැස්සේ තෙමි තෙමී වාහනය ගොඩගනියි” යනුවෙන් සඳහන් කරමින් විඩියෝවන් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන බැවින් මෙහි සත්‍ය අසත්‍ය බව සොයාබැලිමට FactSeeker කටයුතු කළේය.
by Anonymous |
දෙසැම්බර් 2, 2024
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශයෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ අයපහත් කාලගුණය පැවති පසුගිය 26 දා (2024-11-26දා) මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවත් ජාතික ජනබල වේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ මහතාගේ මෝටර්රථය මෙලස පාර්ලිමේන්තු පරිශ්‍රයේ පොකුණට වැටී අනතුරට ලක්ව ඇති බවත්ය. අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා රථය තුළ නොසිටි බවද බීමතිනි සිටි බවට තෝරතුරු වාර්තාවී නොමැති බවද එම අංශය සඳහන් කළේය. මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ අයවැය පවතින සමයක මෙවැනි අයහපත් කාලගුණ තත්වයකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් වාහනයක් ද මෙලස පොකුණට වැටි තිබෙන බවද සන්නිවේදන අංශය පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් නිහාල් අබේසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී ද හෙතෙම පැවසුයේ අදාළ අවස්ථාවේ තමන් එහි නොසිටි බවත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා හදිසියේ ඇති වූ දුමාර තත්ත්වයක් හේතුවෙන් මාර්ග නොපෙනී යාමෙන් අනතුර සිදුවු බව රියැදුරා ප්‍රකාශ කළ බවත් හෙතම පැවසීය. බීමතින් සිටි බවට පැතිරෙන කතා අසත්‍ය බවත් එය ප්‍රතික්ශේප කරන බවත් හෙතම පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ද වාර්තා කර තිබු අතර එහි සබැදිය පහතින් දැක්වේ.
“බීමතින් ගිය මාලිමාවේ මන්ත්‍රී සුපිරි රිය පාර්ලිමෙන්තුවේ පොකුණට පෙරලා ගනියි” යනුවෙන් හුමවාරුවන ප්‍රවෘත්තිය අර්ථය වෙනස්කර ඇති බවත් අදාළ අවස්ථාවේ මන්ත්‍රීවරයෙකු එම රථය තුළ සිට නොමැති බවත් මේ අනුව පැහැදිලි වේ.