මහවිරු දිනය සැමරීමට වත්මන් ජනපති අවසර දුන් බවට පළ වන පුවත් සාවද්‍යයි.

"ශ්‍රී ලංකාවේ මහවිරු දිනය සැමරීමට මින් ඉදිරියට කිසිඳු බාධාවක් නැති බවට ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ." යනුවෙන් "අදිර්වු" නැමැති දමිළ භාෂාවෙන් පළවන වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළ කර ඇත.
by Anonymous |
නොවැම්බර් 18, 2024

එම ප්‍රවෘත්තියට https://www.athirvu.in/?p=15323 අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව 2024.11.17 වන දිනැතිව දමිළ භාෂාවෙන් නිකුත් කළ ලිපියක් බව සඳහන් ඡායාරූපයක් ද එම ප්‍රවෘත්තියට අමුණා ඇත.
එම ලිපියෙහි මෙසේ සඳහන් කර ඇත.
“ආයුබෝවන් දෙමළ ජනතාවනි. ඔවුන් දිගු කලක් තම නිදහස වෙනුවෙන් සටන් කළහ. යුද්ධයේදී ජීවිත අහිමි වූ ඔබේ දරුවන් සහ දෙමාපියන් ජීවිත දහස් ගණනක් අහිමි වූ දෙමළ ජනතාවයි. මිතුරනි, ඔබ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මෙම මාසයේ ඥාතීන්ට නමස්කාර කරයි. ඒ වගේම මේ නොවැම්බර් මාසයේ සාමයෙන් සහ ආරක්‍ෂාවෙන් කිසිම බාධාවකින් තොරව ඔබ වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ අයව සිහිපත් කරන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙසෙන සියලුම දෙමළ ජනතාව කිසිදු බාධාවකින් තොරව ඉතා සාමකාමීව මියගිය අය සැමරීමට පන්සල්, පාසල්, කාර්යාල සහ පොදු ස්ථානවලට රැස්වන සාමකාමී පරිසරයක් අද අප උදාකර තිබෙනවා”. යනුවෙනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එවැනි අවසරයක් ලබා දෙමින් ලිපියක් හෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ ද? යන්න පිළිබඳව Factseeker විමසා බැලීමක් කළෙමු. ඒ සම්බන්ධයෙන් ජනධිපති මාධ්‍ය අංශයෙන් කළ විමසීමේදී ඔවුන් පැවැසුවේ, මෙය සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. මෙවැනි ලිපියක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර නැති බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ ය.
මහවිරු දිනය යනු සෑම වසරකම නොවැම්බර් 27වනදාට යෙදී ඇති, යුධ සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් ජීවිතක්ෂයට පත්වූ සාමාජිකයින් සැමරීමේ දිනයකි. නමුත් මෙය උත්සවාකාරයෙන් සැමරීමට මෙතෙක් පැවති රජයන්ගේ අවසරය ලැබී නොතිබූ අතර වත්මන් ජනපති යටතේ ඊට අවසර හිමි වී ඇති බවට උක්ත වෙබ් පළකිරීමවලින් අදහස් දක්වා ඇත.
ඒ අනුව මහ විරු දිනය සැමරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසර දී ඇති බව සඳහන් ප්‍රවෘත්ති මෙන්ම ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව Factseeker තහවුරු කරයි.