Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න

වත්මන් ආණ්ඩුව මුදල් මුද්‍රණය කිරීමේ ඇත්ත සහ නැත්ත

Factual
Factual

ආණ්ඩුව රුපියල් බිලියන 100ක මුදල් නෝට්ටු මුද්‍රණය කර බව කියන පුවත් පසුගිය දින කිහිපය පුරා දේශපාලන වේදිකාවල මෙම සමාජ මාධ්‍යවල මහත් ආන්දෝලනයක් ඇති කළ පුවතක් විය.

by Anonymous |

නොවැම්බර් 4, 2024

මෙය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ පුවත් වෙබ් අඩවි කිහිපයක් විසින්ම වාර්තා කර තිබිණි. FactSeeker මෙම පුවත් සහ පළකිරීම් නිරීක්ෂණය කළ අතර ඒ පිළිබඳව සමාජය තුළ මතු වූ ප්‍රශ්නකාරී තත්ත්වය හමුවේ එහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට තීරණය කළෙමු.

මේ පිළිබඳව මුල් වරට වාර්තා කර තිබුණේ economynext වෙබ් අඩවිය මගිනි.

“Sri Lanka Prints Rs100bn through open market operations”(ශ්‍රී ලංකාව විවෘත වෙළෙඳපොළ කටයුතු හරහා රුපියල් බිලියන 100ක් මුද්‍රණය කරයි) යන ශීර්ෂයෙන් 2024 ඔක්තෝබර් 27 දින economynext  සිය වෙබ් අඩවියේ ලිපියක්  පළ කර ඇත.

එය මෙතැනින් – https://economynext.com/sri-lanka-prints-rs100bn-through-open-market-operations-184982/

එහි දැක්වෙන්නේ නිල දත්ත පෙන්නුම් කරන ආකාරයට ඔක්තෝබර් 25 වන විට බහු ද්‍රවශීලතා මෙවලම් හරහා දේශීය වත්කම්වලට එරෙහිව බැංකු පද්ධතියේ අතිරික්ත මුදල් රුපියල් බිලියන 190 ඉක්මවමින් ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 100ක් පමණ විද (Inject) ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව, එක් රාත්‍රියක ( වෙන්දේසිය හරහා රුපියල් බිලියන 36.16ක්ද, දින හතක වාර වෙන්දේසිය හරහා රුපියල් බිලියන 70ක්ද වශයෙන් මුද්‍රිත මුදල් විද ඇති බව එම ලිපියේ දැක්වෙයි.

එම ලිපියේ දැක්වෙන පරිදි ඔක්තෝබර් 25 වන විට, මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැන්පත් කර ඇති අතිරික්ත ද්‍රවශීලතාව (මසකට පෙර පැවති රුපියල් බිලියන 138 සිට) රුපියල් බිලියන 193.4ක් විය.

 

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න 2024 ඔක්තෝබර් 28 වෙනි දින නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව කරුණු දැක්වීමක් සිදු කර තිබූ අතර එහි මාධ්‍ය වාර්තා ද පළ වී තිබිණි.

කෙටි කාලීන මුදල් සම්පාදන යාන්ත්‍රණය ලෙස ක්‍රියත්මක වාර වෙන්දේසිය (Term auction) හා එක් රාත්‍රියක වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවමින් සිටින බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව 2024 ඔක්තෝබර් 25 (සිකුරාදා) දින රු. බිලියන 36.16 ක මුදලක්, වෙන්දේසියක් හරහා  (overnight auction) රටේ මුදල් පද්ධතියට පොම්ප කර තිබෙන බවත් එහි දැක්විණි.

එහි සරල ව්‍යවහාරික අර්ථය, ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 36.16 ක් එමගින් අච්චු ගසා ඇති බව මන්ත්‍රීවරිය සිය මුහුණු පොතේ සටහනක් ද පළ කර තිබේ.

එම සටහන මෙතැනින් – https://www.facebook.com/share/p/tMCDsW22jHQ49ePj/

පසුගිය සතියේ දින 7 තුළ මහ බැංකුව වාර වෙන්දේසි (Term auction) මගින් අච්චු ගසා ඇති මුදල රු. බිලියන 70 ක් බව එහි දක්වා ඇත.

මුදල් අච්චු ගැසීම යනු යන්ත්‍රයක් මගින් මුදල් නෝට්ටු හෝ කාසි මුද්‍රණය කිරීම නොවන අතර මහ බැංකුව මගින් මෙරට ආර්ථිකයට අලුතින් මුදල් එකතු කිරීම යන්න එහි අදහසයි. මෙරට මුල්‍ය පද්ධතියට ප්‍රමාණවත් මුදල් සැපයුම සහතික කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය වේ.

මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය සිදු වන ආකාර ආකාර 3කි.

පළමු ආකාරය: මහ බැංකුව විසින්ම භාණ්ඩාගාර බිල්පත් (treasury bills) සහ භාණ්ඩාගාර බැඳුම්කර (treasury bonds) මිලදී ගැනීම

2023 සැප්තැම්බර් මාසයේ සිට බලාත්මක වූ 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත මගින් රජයට අරමුදල් සැපයීම සඳහා ප්‍රාථමික වෙළෙඳපොළේ රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම හරහා මුදල් මුද්‍රණය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවට තහනම් කර ඇත. මෙයින් අදහස් කරන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන් රජයේ අයවැය හිඟයට සෘජුවම මුදල් යෙදවීමට මහ බැංකුවට තවදුරටත් නොහැකි බවයි.

කෙසේ වෙතත්, විවෘත වෙළෙඳපොළ මෙහෙයුම් මගින් ශ්‍රී ලංකා මහ බැංකුවට තවමත් ආර්ථිකයට ද්‍රවශීලතාව විදීම කළ හැකිය. විවෘත වෙළෙඳපොළ මෙහෙයුම් ද්විතීයික වෙළෙඳපොළ තුළ රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම සහ විකිණීම හා සම්බන්ධ වන අතර, ඒවා බැංකු පද්ධතියේ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීමට සහ කෙටි කාලීන පොලී අනුපාත ස්ථාවර කිරීමට භාවිතා කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව අයවැය හිඟය පියවීම සඳහා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් නැත.

මේ අවස්ථාවේ මහ බැංකුව එවැනි ආකාරයේ මුදල් නෝට්ටු මුද්‍රණය කර නොමැති බව නව රජය බලයට පත්වූ දින සිට මේ දක්වා කාල වකවානුව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සතු රජයේ සුරැකුම්පත්වල මුහුණත අගය නොවෙනස්ව පැවතීමෙන් තහවුරු වේ.

දෙවන ආකාරය: මහ බැංකුව විසින් විදේශ සංචිත ගොඩනගා ගැනීම සඳහා බැංකු සතු ඩොලර් මිලදී ගැනීම

නව රජය බලයට පත්වූ දින සිට මේ දක්වා කාල වකවානුව තුළ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවට වාර්තා නොවන බැවින් ඒ වෙනුවෙන් මුදල් මුද්‍රණය කර නොමැති බව තහවුරු කළ හැකිය.

තුන්වන ආකාරය: දෛනික බැංකු ගනුදෙනුවලදී හිඟ ද්‍රවශීලතාව වෙනුවෙන් කෙටිකාලීනව පද්ධතියට මුදල් මුදාහැරීම (ප්‍රති මිලදී ගැනීම්/ප්‍රති විකුණුම් වෙන්දේසි ගනුදෙනු මේ යටතේ සිදු කරයි.)

ශ්‍රී ලංකා මහ බැංකුව විවෘත වෙළඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීමට මේ මොහොතේ කටයුතු කර ඇති බව මහ බැංකු දත්ත විමසීමේදී අප වෙත නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියේ ‘විවට (විවෘත) වෙළෙඳපොළ කටයුතු’ යටතේ ‘දෛනික කටයුතු’ හා ‘ප්‍රති මිලදී ගැනීම්/ප්‍රති විකුණුම් ගනුදෙනු’ පරීක්ෂා කිිිරීමේදී economynext සහ රෝහිණී විජේරත්න කවිරත්න ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන නිරවද්‍ය බව FactSeeker වෙත තහවුරු විය.

ඔක්තෝබර් මස 30 වන දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ රජය මුදල් අච්චු ගැසු බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

එය මෙතැනින් – https://youtu.be/PY-QeVPOJ78

ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් හරහා කරුණු පැහැදිලි කර තිබේ.

එය මෙතැනින් – http://bit.ly/3UAF3xN

 

මෙම මාධ්‍ය නිවේදනය මගින් හෝ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී economynext හෝ රෝහිණී කවිරත්න විසින් විවිට වෙළෙඳපොළ කටයුතු මගින් ද්‍රවශීලතාව ලබාදීම පිළිබඳව දක්වා තිබූ දත්ත ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර නැත.

මහ බැංකුවේ මාධ්‍ය නිවේදනය තුළින් පෙන්වා දෙන්නේ මහ බැංකුව විවට වෙළඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු කටයුත්තක් බවත්, විවට වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබන්නේ පොලී අනුපාතිකය කළමනාකරණය කිරීම හරහා මිල ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා වන අතර, එය “හුදු මුදල් අච්චු ගැසීමක්” ලෙස ලඝු කොට දැක්විය නොහැකි බවත්ය.

බැංකු පද්ධතිය තුළ දිගුකාලීනව පැවති ද්‍රවශීලතාව බෙදී යාමේ අසමතුලිතතාව හේතුවෙන්, 2024 වසර තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට ද්‍රවශීලතාව ලබාදීම සඳහා නිරන්තරයෙන් විවට වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු සිදු කළ බව එම නිවේදනයේ සඳහන් වේ.

මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා අතිරික්තයක් පැවතිය ද මෙම ද්‍රවශීලතාව අසමතුලිත ලෙස බැංකු අතර බෙදී පැවතීම නිසා දේශීය බැංකුවලට ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය ගනුදෙනුකරුවන්ගේ ණය ඉල්ලීම සපුරාදීම ඇතුළු ඔවුන්ගේ දෛනික මෙහෙයුම් කටයුතු සඳහා ද ද්‍රවශීලතා අවශ්‍යතාවන් ඇති වන බව එම නිවේදනයේ දැක්වේ.

රාජ්‍ය ණය ශ්‍රේණිගතකිරීම් වලින් ශ්‍රී ලංකාව පහළට වැටීම හේතුවෙන් ඇතැම් බැංකුවලට තවත් බැංකුවක් සමග ණය ගනුදෙනු කිරීම සඳහා දැඩි ලෙස සීමා පනවා තිබීම නිසා ඇතැම් බැංකු දැඩි ද්‍රවශීලතා හිඟයකට මුහුණ පා සිටියි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කර ඇති විදේශීය බැංකුවලට අතිරික්ත අරමුදල් පැවතිය ද ඔවුන් සතු අතිරික්ත අරමුදල් මෙම සීමා නිසා තවත් බැංකුවකට ණයට දීමට නොහැකි වී ඇත. එවැනි පසුබිමක, ශ්‍රී ලංකා මහ බැංකුව ද්‍රවශීලතාව ලබාදීම තුළින් කෙටිකාලීන පොලී අනුපාතික විශේෂයෙන් බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය ස්ථාවරව පවත්වා ගැනීම සහතික කරමින් මෙම හිඟය සමනය කිරීමට හැකි වී ඇති බව මහ බැංකුව සිය නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව එක්රැය වෙන්දේසිය හරහා රුපියල් බිලියන 36.16ක්ද, දින 7 වාර වෙන්දේසිය හරහා රුපියල් බිලියන 70ක්ද වශයෙන් හිඟ ද්‍රවශීලතාව වෙනුවෙන් ‘කෙටිකාලීනව’ පද්ධතියට මුදල් මුදාහැරීම සිදු කර ඇති බව FactSeeker තහවුරු කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

තල්මසෙකු බේරාගන්නා බව දැක්වෙන AI වීඩියෝ නිර්මාණ කිහිපයක්!

ජූනි 20, 2025

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection