පොල් පෝලිමේ කතාව
වෙළඳපොළේ පොල් මිල මේ වන විට බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති පසුබිමක පොල් පෝලිමක ඡායාරූපයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන ඡායාරූපයකට විවිධ අර්ථකථන සපයමින් පෝස්ටු නිර්මාණය කර ඇති ආකාරය FactSeeker හට නිරීක්ෂණය විය.
by Anonymous |
ඔක්තෝබර් 24, 2024
ඒ අනුව මෙම පෝලිම කුමක්ද? යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අපි කටයුතු කළෙමු.
අදාළ ඡායාරූපයේ ‘පොල් වගාකිරීමේ මණ්ඩලය’ ලෙස දැක්වෙන නාම පුවරුවක් හඳුනාගත හැකිය. Google සිතියම් යොදාගෙන අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීමේදී එය බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි පොල් වගාකිරීමේ මණ්ඩල භූමිය බව තහවුරු කරගත හැකි විය.
මේ පිළිබඳව කරුණු පැහැදිළි කර ගැනීම සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුව අපි පරීක්ෂා කළෙමු. ඊයේ(23) දින එහි පළ කළ පෝස්ටුවක් මගින් දැක්වුණේ මේ දිනවල පොල් මිල ඉහළ යාම හේතුවෙන් මහජනතාව වෙත සහනයක් සැලසීම අරමුණු කර ගනිමින් සහන මිලට පොල් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. පොල් වගා කිරීමේ මණ්ඩලය සහ රාජ්‍ය වැවිලි සමාගම් එක්ව දිවයිනේ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක කරන බව එහි සඳහන් කර තිබිණි.
https://www.facebook.com/share/p/LGPWbRde8LzqErtt/
එහි සමාරම්භක වැඩසටහන ඊයේ (23) පෙ.ව 8.30 සිට පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල භූමියේදී ආරම්භ කර තිබේ.
එමෙන්ම නාගරික තදාසන්න ප්‍රදේශවලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, ඊයේ (23) දින බත්තරමුල්ල අවට ප්‍රදේශවලදී දවස පුරා ජංගම ලොරි රථයක් මගින් මෙම සහන මිලට පොල් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බව ද පොල් වගාකිරීමේ මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි.
මේ පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිය ප්රවෘත්ති විකාශනයන්වල ප්‍රචාරය කර තිබුණේ මේ අයුරිනි.
පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති සමන් දේවගේ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී ද මේ පිළිබඳ ප්‍රකාශ කර තිබේ.
එහි සබැඳිය පහතින්.
එම මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු සඳහන් කරන්නේ බත්තරමුල්ල, සෙත්සිරිපාය අවට ප්‍රදේශවලට අමතරව තංගල්ල, මහරගම, දෙහිවල හා ඒ අවට ප්‍රදේශවල ද මෙම විශේෂ වැඩසටහන ඉදිරි දිනවල ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව පොල් මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිමක රැඳී සිටින ඡායාරූපය, පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල භූමියේදී ජංගම ලොරි රථයක් මගින් සහන මිලට පොල් මිලදී ගැනීමේ අවස්ථාවක් බව FactSeeker තහවුරු කරයි.