හුවමාරු වන වීඩියෝව අනතුරට ලක් වූ ගුවන් යානයේ සිටි මගියෙකු ගත් දර්ශන නෙවෙයි.

හුවමාරු වන වීඩියෝ 2023 දී නේපාලයේ පෝකරා නගරයේ දී සිදු වූ අනතුරකදී සහ 2025 මැයි මාසයේදී කරච්චි සිට ලාහෝර් වෙත ගමන් කළ යානයකදී රූගත කළ දර්ශන බව අනාවරණය විය.
by Anonymous |
ජූනි 13, 2025

ගුජරාට් ප්‍රාන්තයේ අහමඩාබාද් නගරයේදී එයාර් ඉන්ඩියා සමාගමට අයත් ගුවන් යානයක් ඊයේ (12) අනතුරකට ලක්විය. මෙම අනතුරේදී ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 290කට අධික සංඛ්‍යාවක් මිය ගිය බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේ ය.
මෙලෙස අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි මගීන් විසින් එම අනතුරට පෙර රූගත කළ බව පවසමින් සමාජ මාධ්‍ය වේදිකාවල විශාල වශයෙන් හුවමාරු වන වීඩියෝ කිහිපයක් FactSeeker නිරීක්ෂණය කළේ ය.
මෙම වීඩියෝ “ගුජරාටයේ ගුවන් අනතුරක් … මගීන් රූගත කළ කම්පන සහගත දර්ශන” මෙන්ම “මගීන්ගේ අවසාන මොහොත” යනුවෙන් සඳහන් කරමින් හුවමාරු කර ගෙන තිබිණි.
මෙම වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පුළුල් වශයෙන් බෙදාහැරුණු නිසා FactSeeker එම දර්ශන වල සත්‍යතාවය පරීක්ෂා කිරීමට කටයුතු කළේය.
“ගුජරාට් ගුවන් අනතුර… මගීන් රූගත කළ කම්පන සහගත දර්ශන” ලෙස සඳහන් කර තිබූ වීඩියෝව Google Lens භාවිතයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වූයේ එම දර්ශන 2023 වසරේ සිදුවූ වෙනත් ගුවන් අනතුරකට අයත් බවය. විශේෂයෙන්ම, එය 2023 ජනවාරි 15 වනදා නේපාලයේ පෝඛරා නගරයේදී අනතුරට ලක්වූ ගුවන් යානයක සිටි මගියෙකු විසින් Facebook හරහා සජීවීව විකාශය කළ වීඩියෝවක් බව තහවුරු විය.
මෙම අනතුර සම්බන්ධයෙන් පසුගියදා හුවමාරු වූ සමාජ මාධ්‍ය පළ කිරීම සහ පුවත් වාර්තාද ඒ බව සනාථ කළේය.
ඊට අමතරව, “මගීන්ගේ අවසාන මොහොත” ලෙස සඳහන් කරමින් බෙදාහැරුණු වීඩියෝව විශ්ලේෂණය කළ විට, එය පකිස්තානයේ සිදුවූ වෙනම සිදුවීමක් බව හෙළිවිය.
විශේෂයෙන්, මෙම වීඩියෝව රූගත කර ඇත්තේ මේ වසරේ මැයි 24 වනදා කරච්චි සිට ලාහෝර් දක්වා ගමන් කරමින් තිබූ ගුවන් යානයක සිටි මගෙකු විසිනි. ඒ එදින, ඇති වූ කුණාටු තත්ත්වයක් හේතුවෙන් ගුවන් යානයට ඉතා අසීරු තත්ත්වයකට මුහුණ දීමට සිදු වී ඇත. එහිදී මගීන් දැඩි භීතියට ද පත් වී ඇත.
නමුත් පුවත් වාර්තා අනුව, එම දැඩි අසීරු තත්ත්වයක , යානය ආපසු ආරක්ෂිතව ගොඩබැසී ඇති අතර, කිසිදු තුවාලයක් හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැත.
අපි කළ නිරීක්ෂණ අනුව පළමු වීඩියෝව 2023 දී නේපාලයේ පෝඛරා නගරයේ සිදුවූ ගුවන් අනතුරකදී රූගත කළ දර්ශන වන අතර, දෙවැනි වීඩියෝව 2025 මැයි මාසයේදී කරච්චි සිට ලාහෝර් වෙත ගමන් කළ යානයක දැඩි කැළඹිලි සහිතව ගමන් ගැනීමක දී රූගත කළ දර්ශන බව අනාවරණය විය.
එම නිසා, මේ වනවිට සමාජ මාධ්‍ය හරහා බෙදාහැරෙන මෙම වීඩියෝ, අහමදාබාද් හි පසුගියදා සිදු වූ ගුවන් අනතුරට අදාළ මගීන් විසින් රූගත කළ දර්ශන නොවන බව Factseeker තහවුරු කරයි.