සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජනාධිපතිවරයාගේ ව්‍යාජ AI ඡායාරූපය

ජනාධිපති අනුර කුමාර දිසානායක මෑතකදී යාපනයේ කළ සංචාරය අතරතුර ලබාගත් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාලාවල ඡායාරූපයක් සංසරණය වෙමින් පවතී.
by Anonymous |
ජනවාරි 27, 2026

එම ඡායාරූපයේ ජනාධිපති අනුර කුමාර දිසානායක දෙමළ ජාතිකයින්ගේ සංස්කෘතික ඇඳුමෙන් සැරසී ආහාර ගන්නා ආකාරය සහ උත්සවයකදී දෙමළ සංස්කෘතික ඇඳුමින් සැරසී පොංගල් උත්සවය සමරන ආකාරය දැක්වෙන බැවින්, ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සාධනීය මෙන්ම නිෂේධනීය විවේචන එල්ල වන බව ‘Factseeker’ නිරීක්ෂණය කළේ ය.

කෙසේ වෙතත්, මෙම ඡායාරූපයේ සත්‍යතාව විමසා බැලීමේදී මෙය AI තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බව අනාවරණය විය.
ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය අතරතුර ඔහු කිසිදු අවස්ථාවක දෙමළ සංස්කෘතික ඇඳුමෙන් සැරසී උත්සව සඳහා සහභාගී වී නැත. ඔහුගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වල හෝ ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද ඡායාරූපවල එවැනි අවස්ථාවක ලබාගත් කිසිදු ඡායාරූපයක් යොමු කර නැත.
මෙම ඡායාරූපය දෙස සියුම්ව නිරීක්ෂණය කිරීමේදී, ජනාධිපතිවරයාගේ ශරීර ලක්ෂණවල විවිධ අස්වාභාවික වෙනස්කම් දක්නට ලැබේ. එමෙන්ම මෙය AI මගින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බව පහසුවෙන් හඳුනාගත හැකි ලක්ෂණ ද එහි පවතී.
මීට අමතරව, AI ඡායාරූප හඳුනාගත හැකි ‘IMGDetector’ මෙවලම හරහා කළ පරීක්ෂාවේදී ද මෙය AI මගින් නිර්මාණය කර ඇති බව තහවුරු විය.

එබැවින්, ජනාධිපතිවරයා යාපනය සංචාරයේදී දෙමළ සංස්කෘතික ඇඳුමෙන් සැරසී ආහාර ගන්නා බවට පැතිර යන ඡායාරූපය AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ එකක් බව ‘Factseeker’ තහවුරු කරයි.