රාමායනයේ කුම්භකර්ණගේ කඩුව සොයා ගත්තා ද?
හින්දු වීර කාව්‍යයක් වන රාමායනයේ චරිතයක් වන කුම්භකර්ණගේ කඩුව සොයා ගත් බව නිරූපණය කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදා හරින බව FactSeeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
ඔක්තෝබර් 24, 2024
“කුම්භකර්ණගේ කඩුව හමුවී ඇත, රාමායනය සිදු වූ බවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත. ජයි ශ්‍රී රාම්” යන ශීර්ෂ පාඨය සහිතව වීඩියෝව මෙසේ හුවමාරු වෙමින් පවතී. එම වීඩියෝවේ යෝධ කඩුවල ඡායාරූප ද ඇතුළත් වේ.
මෙම වීඩියෝවේ හුවමාරු වූ ඡායාරූප Google lens හරහා විශ්ලේෂණය කිරීමේදී Tiktok, Instagram, X, Facebook සහ YouTube ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල එම රූප විශාල වශයෙන් හුවමාරු වී ඇති බව අනාවරණය විය.
එසේම වසර 3000ක් පැරණි යෝධ කඩුවක් තුර්කියෙන් සොයාගත් බව දක්වමින් ද මෙම ඡායාරූප හුවමාරු වෙමින් තිබේ.
තවත් වීඩියෝවක දුල්වාර්, ඉන්දියානු උපමහාද්වීපයේ කඩුවක් ලෙස ද මෙම කඩුවල ඡායාරූප නම් කර ඇත.
මෙම වීඩියෝ පටයේ භාවිතා කර ඇති ඡායාරූප දෙස සමීපව බැලීමේදී පෙනී ගියේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ඡායාරූප නිර්මාණය කර ඇති බවයි. එනම් ඡායාරූපවල සිටින පුද්ගලයින්ට කැපී පෙනෙන ලෙස විකෘති වූ අත්, අසමාන ශරීර සහ අස්වාභාවික මුහුණේ ලක්ෂණ පවතින බවත් සහ සෙවනැලි අසමාන බවත් දැකගත හැකිය.
එමෙන්ම Is It Ai image Detector සහ Hive Moderation.com වැනි වෙබ් අඩවි මගින් මෙම ඡායාරූප විශ්ලේෂණය කිරීමෙන් පෙන්නුම් කරන්නේ මෙම ඡායාරූපවලින් 70%කට වඩා කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර ඇති බවයි.
එබැවින් රාමායන චරිතයක් වන කුම්භකර්ණගේ කඩුව සොයාගත් බව පවසමින් සමාජ මාධ්‍යවල හුවමාරු වූ වීඩියෝවේ භාවිතා කර ඇති ඡායාරූප කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද බව FactSeeker තහවුරු කරයි.