රංගන ශිල්පී රජිත හිරාන් පොහොට්ටුවේ කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් කර නෑ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසන සංවිධායක ලෙස රංගන ශිල්පියෙකු වන රජිත හිරාන් චාමිකර පත් කර ඇති බව සමාජ මාධ්‍ය ජාල පුරා පෝස්ටු සංසරණය වෙයි.
by Anonymous |
ජනවාරි 30, 2026

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ ගේ අභාවයෙන් පසු හිස් වූ කැස්බෑව ආසන සංවිධායක ධූරය සඳහා රජිත හිරාන් පත් කර ඇතැයි මෙසේ හුවමාරු වන පෝස්ටුවල සඳහන් කර තිබිණි. ඔහු කුමක් හෝ උත්සවයකට සහභාගී වන අවස්ථාවේදී කාන්තාවන් කිහිපදෙනෙකු ඔහු උණුසුම් ලෙස පිළිගන්නා අකාරය ඇතුළත් වීඩියෝවක් ද අසුනක සිට කුමක් හෝ සටහන් කරන ආකාරයත් හැඟවෙන පෝස්ටු ද මේ අතර විය.
මේ සම්බන්ධයෙන් පළ වී ඇති පෝස්ටුවලට පරිශීලකයින් දක්වා ඇති අදහස්වල ඇතැමුන් එය සත්‍යක් ලෙස පිළිගෙන තිබූ අතර තවත් සමහරු එය අසත්‍ය බව දක්වා තිබිණි.

එබැවින් Factseeker ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කළේ ය.
ඒ සම්බන්ධයෙන් හුවමාරු වන වීඩියෝ නිරීක්ෂණය කිරීමේ දී රංගන ශිල්පිනී අනූෂා දමයන්ති සහ රංගන ශිල්පී අර්ජුන් කමලනාත් ඉහත කී උත්සවයට සහභාගී අවස්ථාවේ මාධ්‍යයට කරන ප්‍රකාශයක වීඩියෝවක් අපට හමු විය. එහිදී ඔවුන් ප්‍රකාශ කරන්නේ, කැස්බෑව ආසන සංවිධායක ලෙස පත් වූ අජිත් නාරගලට සුබ පැතීම සඳහා මෙම ස්ථානයට පැමිණි බවයි. එම වීඩියෝවේ රජිත හිරාන් චාමිකර ද සිටින බව දක්නට ලැබිණි.
මෙතැනින්- https://www.facebook.com/share/r/17p4MxdZpy/

මේ අතර කැස්බෑව ආසන සංවිධායක ලෙස රජිත හිරාන්ප චාමිකර පත් කර ඇති බව පළ වන ප්‍රචාර අසත්‍ය බව අජිත් නාරගල විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන බව Factseeker ට නිරීක්ෂණය විය.

මේ අතර හිරු ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයකදී ද කැස්බෑළු ආසන සංවිධායක ලෙස අජිත් නාරගල පත් කර ඇති බව සඳහන් කර තිබිණි.
එය මෙතැනින් – https://www.facebook.com/reel/1227514156191498
අපි මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්නගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු ප්‍රකාශ කළේ, කැස්බෑව ආසන සංවිධායක ලෙස අජිත් නාරගල පත් කර ඇති බව ත් හුවමාරු වන වීඩියෝවල ඇත්තේ අජිත් නාරගල පිළියන්දල නගරයේ පක්ෂ කාර්යාලයක් විවෘත කළ අවස්ථාවක් බවයි. මෙම අවස්ථාවට කලාකරුවන් රැසක් සහභාගී වී ඇති අතර රජිත හිරාන් චාමිකර ද ඒ අතර වූ බව සංජීව එදිරිමාන්න අනාවරණය කළේ ය. එම පක්ෂ කාර්යාලයේ තබා තිබූ සමරු සටහන් පොතට රජිත හිරාන් සටහනක් තබන ඡායාරූපයක් ද හුවමාරු වන පෝස්ටුවල තිබෙන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ අනුව රංගන ශිල්පී රජිත හිරාන් චාමිකර කැස්බෑව ආසන සංවිධායක ධූරයට පත් කර නැති බව Factseeker තහවුරු කරයි.