මුඛයේ ඇස් ඇති ගෙම්බා ගැන ඇත්ත කතාව

මුඛයේ ඇස් ඇති ගෙම්බා යන ශීර්ෂයෙන් සාමාන්‍යයෙන් ගෙම්බෙකුගේ ඇස් පිහිටන ස්ථානයේ ඇස් නොමැති, ඒ වෙනුවට මුඛය තුළ ඇස් පිහිටා ඇති ගෙම්බෙකු පිළිබඳව ෆේස්බුක් ඔස්සේ හුවමාරු වන පෝස්ටුවක් FactSeeker අවධානයට යොමු විය.
by Anonymous |
ජූලි 17, 2025

එහි කමෙන්ටු තීරය තුළ ඇතැම් අයෙකු අදහස් පළ කර තිබුණේ මෙය AI නිර්මාණයක් විය යුතු බවයි. මෙම අදහස් සහ එම ඡායාරූපයේ පැවති සැකසහිත බව සැලකිල්ලට ගනිමින් එහි කරුණු පරීක්ෂා කිරීමට FactSeeker කටයුතු කළේය.
“අද්විතීය ලෙස ඇස් මුඛය තුළ වර්ධනය වීමට හේතු වන විශ්මයජනක ජාන විකෘතියක් සහිත දුර්ලභ ගෙම්බෙකු විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලදී.” යනුවෙන් එම ඡායාරූපය හඳුන්වා තිබේ. ඡායාරූපය සමග පළ කර ඇති විස්තරය අනුව මෙය කැනේඩියානු පර්යේෂකයන් පිරිසකගේ සොයා ගැනීමකි. මෙම ලක්ෂණය පරිණාමීය අනුවර්තනයක් විය හැකි බවට විද්‍යාඥයින් විශ්වාස කරන බව එහි තවදුරටත් දැක්වේ.
පෝස්ටුවේ ඇතුළත් ඡායාරූපය, රූප මූලාශ්‍ර සෙවුම(Reverse Image Search) හරහා පරීක්ෂා කිරීමේදී එම ඡායාරූපය භාෂා කිහිපයකින්, සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රාශියක් ඔස්සේ පළ කර ඇති බව FactSeeker ට නිරීක්ෂණය විය. එම පළකිරීම්වල අන්තර්ගතයන් ඔස්සේ තවදුරටත් පරීක්ෂා කිරීමේදී මෙම ඡායාරූපයේ පළමු පළකිරීම FactSeeker ට අනාවරණ විය. එම ලිපිය පහතින්.
https://www.thetravel.com/photo-toad-with-eyes-in-mouth-found-in-canada/
එම ලිපියේ ‘කවරයේ ඡායාරූපය’ ලෙස මෙම ඡායාරූපය භාවිත කර ඇති අතර එහි පසෙකින් Shutterstock AI ලෙස සලකුණු කර ඇති බව නිරීක්ෂණය විය. එම ඡායාරූපයේ ගොනු නාමය [shutterstock_2618136755], shutterstock.com වෙබ් අඩවිය හරහා පිරික්සීමේදී කෘත්‍රිම බුද්ධිය යොදාගෙන නිර්මාණය කර ඇති එහි මුල් නිර්මාණය හමු විය. එහි සබැඳිය පහතින්.
https://www.shutterstock.com/image-generated/realistic-photo-frog-without-eyes-instead-2618136755
මෙම ඡායාරූපයට අදාළ පසුබිම සම්බන්ධයෙන් FactSeeker සොයා බැලීය. ඒ අනුව, මුඛය තුළ ඇස් පිහිටා ඇති ගෙම්බෙකු පිළිබඳ ලෝකයෙන් වාර්තා වී ඇද්ද? යන්න අපි පරීක්ෂා කළෙමු.
එහිදී ඉහත thetravel.com ලිපිය ඇතුළු සමාජ මාධ්‍ය පොස්ටු කිහිපයක පළ කර ඇති, මුඛය තුළ ඇස් පිහිටා ඇති ගෙම්බෙකු පිළිබඳ වාර්තාවලට අදාළ මුල් ඡායාරූප බව සැලකෙන ඡායාරූප දෙකක් අපගේ අවධානයට ලක් විය.
එම ඡායාරූප පිළිබඳව අප කළ විමර්ශනයේදී, snopes.com නමැති අමෙරිකා එක්සත් ජනපද කරුණු පරීක්ෂා කිරීමේ ආයතනයක් (Verified signatory of the IFCN Code of Principles) විසින් ඒ සම්බන්ධයෙන් වසර කිහිපයකට පෙර කළ කරුණු පරීක්ෂාවක් හමු විය. එහි සබැඳිය පහතින්.
https://www.snopes.com/fact-check/frog-eyes-inside-mouth/
එහි සඳහන් කරුණු අනුව, කැනඩාවේ ඔන්ටාරියෝහි ‘The Hamilton Spectator’ පුවත්පතට සේවය කළ ස්කොට් ගාඩ්නර් නම් ඡායාරූප ශිල්පියා වර්ෂ 1992 දී පමණ මුඛයේ ඇතුළත ඇස් ඇති මැඩියෙකු නිරූපණය වන සමාන ඡායාරූපයක් හසු කරගෙන ඇත. ගාඩ්නර් විසින් ලබාගත් මුල් ඡායාරූපය තවත් ඡායාරූප සමග කලින් කලට සංසරණය වන බව මෙම කරුණු පරීක්ෂාවේ සඳහන් කර ඇත.
මෙම අමුතු පෙනුමක් ඇති උභයජීවියා 1990 දශකයේ මුල් භාගයේදී කැනඩාවේ ඔන්ටාරියෝහි කුඩා ගැහැණු ළමයින් දෙදෙනෙකු විසින් සොයා ගන්නා ලද බව පැහැදිලි කරමින් 2014 දී බීබීසීය විසින් ගාඩ්නර්ගේ ඡායාරූපය ගැන ලියා ඇති බව එම කරුණු පරීක්ෂාවේ සඳහන්ය.
ගාඩ්නර්ගේ ඡායාරූපය ප්‍රකාශන කිහිපයකම පළ වී ඇති අතර, පරිණාමික ජීව විද්‍යාඥ රිචඩ් ඩෝකින් විසින් 1996 දී රචිත “Climbing Mount Improbable” කෘතියේ එය ඇතුළත්වීම වඩාත් ප්‍රචලිත විය.
මෙම විකෘතියට හේතුව කුමක්දැයි පැහැදිලි නැති නමුත් එය පරපෝෂිත ආසාදනයක ප්‍රතිඵලයක් විය හැකි බව බීබීසී ලිපි මගින් සඳහන් කර ඇත. ඉහත කරුණු දක්වමින් snopes.com කරුණු පරීක්ෂාව එය ‘බොහෝ දුරට සත්‍ය(Mostly True)’ ලෙස වර්ගීකරණය කර තිබේ.
ස්කොට් ගාඩ්නර්ගේ මුල් ඡායාරූපය ලෙස සැලකෙන ඡායාරූපය ඇතුළත් වඩා පැරණි පළ කිරීම් පහතින්.
https://www.descopera.ro/dnews/13721299-mutatie-genetica-bizara-aceasta-broasca-are-ochii-in-gura
https://www.documentingreality.com/forum/f149/toad-eyes-roof-mouth-130340/
https://blognews.am/rus/print/42750/
https://terrao.livejournal.com/4228508.html
https://www.tumblr.com/indicagirl253/55033270640/this-is-a-picture-of-a-goldschmidt-toad-that-has-a
https://virgool.io/@endregion.ir/%D9%81%DB%8C%D9%84%D9%85%D9%87%D8%A7%DB%8C%DB%8C-%D8%AF%D8%B1-%D9%85%D9%88%D8%B1%D8%AF-%D8%A2%DB%8C%D9%86%D8%AF%D9%87-hbma8fzcpnw9
මේ අතර, thetravel.com වෙබ් අඩවියේ ගෙම්බා සහ මැඩියාගේ වෙනස පෙන්වාදෙන විශේෂ සටහනක් දැක්විණ. එය මෙසේය.
“සමහර අය ඡායාරූපයේ සිටින සත්ත්වයා ගෙම්බෙකු(frog) ලෙස හඳුන්වන නමුත් ඒ ඇත්ත වශයෙන්ම මැඩියෙකි(toad). ගෙම්බන් සහ මැඩියන් එකම පවුලේ සාමාජිකයන් වන නමුත් දෙදෙනා අතර සියුම් වෙනස්කම් පවතී. ඒවා අතර කකුල් දිග, සමේ වයනය, වාසස්ථාන සහ කටහඬේ වෙනස්කම් ඇතුළත් වේ. මූලික වශයෙන්, සියලුම මැඩියන් ගෙම්බන් වන නමුත් සියලුම ගෙම්බන් මැඩියන් නොවේ.”