ජාතික ජන බලවේගයේ ටොරොන්ටෝ ජනහමුවේදී ප්‍රශ්න ඇසූ තරුණයා එළවා දැම්මාද?
ජාතික ජන බලවේගය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පැවැත් වූ ජන හමුව සම්බන්ධයෙන් විවිධ අදහස් හුවමාරු වෙමින් පවතී.
by Anonymous |
මාර්තු 28, 2024
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අතරතුර දෙමළ භාෂාවෙන් ප්‍රශ්නයක් ඇසූ තරුණයෙකු එම ස්ථානයෙන් පිටතට ඇද දැමූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
මෙම තරුණයා සමුළුවේ වේදිකාවෙන් එළවා දැමුවේ ඇයි දැයි X අඩවියේ ප්‍රශ්න කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විවේචන මතුවෙමින් පවතින බව factseekerට නිරීක්ෂණය කළේ ය.
මෙම උත්සවයේදී එවැනි සිදුවීමක් වුණාද? එසේත් නැතිනම් සිදුවූයේ කුමක්දැයි factseeker සොයා බැලීමේදී ප්රශ්නය නැඟූ තරුණයා ශාලාවෙන් නෙරපා නොදැමූ බව තහවුරු විය. මෙහිදී අනුර කුමාර දිසානායක විසින් එම තරුණයාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දී තිබිණි.
එමෙන්ම එම අවස්ථාවට සහභාගී වූ තවත් අයෙකු එම අවස්ථාව අතරතුර නොකඩවා අදහස් ප්‍රකාශ කර අනෙක් අයට සාකච්ඡා කිරීමට ඉඩ නොතබා උත්සවයට බාධා ඇති කළ අවස්ථාවේදී, එහි සිටි ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු ඉවත් කළ බව ජාතික ජන බලවේගය factseekerට අනාවරණය කළේ ය.
උත්සවයට අදාළ සම්පූර්ණ වීඩියෝව මෙහි අමුණා ඇත, උත්සවයේදී තරුණයින් අසන ප්රශ්නය සහ අනුරකුමාර දිසානායක මහතා ලබාදුන් පිළිතුර නැරඹිය හැකියි. https://youtu.be/vIJqwQOJ97Q?t=8602
එබැවින් කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවති ජන හමුවේදී දෙමළ භාෂාවෙන් ප්‍රශ්නයක් ඇසූ තරුණයෙකු එම ස්ථානයෙන් පන්නා දැමූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පෝස්ටු අසත්‍ය බව factseeker තහවුරු කරයි.