ජනප්‍රිය ගායන ශිල්පී සේනක බටගොඩ මුදල් නැතුව දුක් වින්ඳා ද?
මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු, ගිටාර් වාදකයෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු වූ සේනක බටගොඩ පසුගිය සැප්තැම්බර් මස 11 වනදා අභාවප්‍රාප්ත විය.
by Anonymous |
සැප්තැම්බර් 26, 2024
ඔහුගේ මරණය සිදු වී පැය කිහිපයකින් සේනක බටගොඩගේ දියණිය වන සෙරීනා බටගොඩ විසින් කරන ලද ප්‍රකාශයක් ලෙස පහත පෝස්ටු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර FactSeeker ඒ පිළිබඳ අවධානය යොමු කළේය.
එම පෝස්ටුවලින් දැක්වුණේ, “මුදල් නැතිව තාත්තා ගොඩක් දුක් වින්දා. තාත්තාගේ සිංදු කියපු වායෝ සංගීත කණ්ඩායම ලක්ෂ පනහක කර්තෘ භාග තවමත් ගෙවා නෑ. ඒ සල්ලි තිබුණා නම් තාත්තා තවමත් ජීවතුන් අතර.” යනුවෙනි.
මෙහි එක් පෝස්ටුවක් සිරස Newsfirst ආකෘතිය යොදා ගනිමින් සකසා තිබූ බැවින් අපි එය Newsfirst සමාජ මාධ්‍ය පිටු හා ගිණුම්වල පරීක්ෂා කළෙමු. එහිදී එවැනි කිසිදු පෝස්ටුවක් 2024.09.12 හෝ ඊට ආසන්න දිනක පළ කර නොමැති බව අපට තහවුරු විය.
මේ පිළිබඳව පැහැදිළි කරමින් සෙරීනා බටගොඩ 2024.09.19 දින සිය ෆේස්බුක් පිටුවේ පළකිරීමක් යොදා තිබුණේ මෙලෙසින්.
“මා කිසිදු මාධ්‍යයකට එවැනි ප්‍රකාශයක් කර නොමැති අතර මෙවැනි සදාචාර විරෝධී ක්‍රියා සිදු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.” යනුවෙන් ඇය එහි සඳහන් කර තිබිණි.
මෙහි සඳහන් කර්තෘභාගය නොගෙවීම හා සම්බන්ධ සිදුවීමේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අපි සෙරීනා බටගොඩගේ පෞද්ගලික නීතීඥ ගෞරි පීරිස්ගෙන් විමසුවෙමු. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය පැවැසුවේ, වායෝ සංගීත කණ්ඩායම හා සේනක බඩගොඩ යන පාර්ශවයන් දෙක අතර එවැනි කිසිදු ගැටලුවක් නොමැති බවත් නඩුවක් පවතින්නේ වෙනත් පාර්ශවයක් සමඟ බවත් ය.
නීතීඥවරිය වැඩිදුරටත් පැවසුවේ, සේනක බටගොඩ සමඟ වායෝ කණ්ඩායම අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර එකඟතාවයට අත්සන් තබා ඇත්තේ සංගීත් විජේසූරිය සමඟ බවයි.
එසේම මෙරට ප්රමුඛ පෙළේ සන්නිවේදන ජාලයක ප්රචාරක දැන්වීමක් සඳහා ඔහුගේ ගීතයක් ඔහුට නොදන්වා භාවිත කිරීම නිසා සේනක බටගොඩ ඊට අධිකරණ ක්‍රියාමාර්ගයකට එළඹ තිබේ. නමුත් පසුව එම නඩුව ඉල්ලා අස්කරගෙන ඇත්තේ පසුකාලීනව ඔහු කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද රෝගාතුර වීම නිසයි.
ඉන් අනතුරුව ජනත් කුලතිලක යන අය විසින් “අපි කවුරුද ” සහ තවත් ගීත 7ක කර්තෘභාගය ඉල්ලා ඇත්තේ එම ගීත වල පද රචනයන්ගේ සහ තනු නිර්මාණ වලට උප වශයෙන් දායක වීම උදෙසායි. එහි කර්තෘභාගය තවමත් ගෙවමින් සිටින බව ද නීතීඥවරිය ප්‍රකාශ කළා ය.
එසේම අදාළ පෝස්ටුව සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ජාලයෙන්ද ඇය විමසා ඇති අතර ඔවුන් විසින් එවැන්නක් මුදාහැර නැති බවත් ඔවුන්ගේ නිල ලාංජන යොදාගෙන සකසා ඇති පෝස්ටුවක් බව තහවුරු කරගත් බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ඒ අනුව සේනක බටගොඩගේ දියණිය වන සෙරීනා බටගොඩ විසින් කරන ලදැයි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පෝස්ටු ව්‍යාජ ඒවා බව FactSeeker තහවුරු කරයි.