ජනපති රනිල් ජනාධිපතිවරණයට එන්නේ “හදවත” ලාංඡනයෙන්ද?

ජනාධිපතිවරණයේ උණුසුම දිනෙන් දින වැඩි වෙමින් දේශපාලන පක්ෂ අතර ප්‍රසිද්ධ සාකච්ඡා පමණක් නොව රහස් සාකච්ඡා ද දිවා රෑ සිදුවෙමින් පවතී. මේ අතරතුර ඉදිරි ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ඇප මුදල් තැන්පත් කළේ ය.
by Anonymous |
ජූලි 31, 2024

මේ අතර තුර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ “හදවත” ළකුණෙන් බවට ප්‍රධාන ධාරාවේ වෙබ් අඩවි මෙන්ම සමාජ මාධ්‍ය ජාලවල පුවත් සංසරණය වෙමින් පැවැතිණි.
නෙත් FM නාලිකාවේ අද (31) විකාශය වූ “කනින් කොනින්” වැඩසටහනේ දී ද මේ පිළිබදව ප්‍රකාශ කර තිබිණි. එය මෙතැනින් https://youtu.be/ljLBoMo8E6o?t=521
මෙය සත්‍යද? යන්න පිළිබදව Factseeker විමසීමක් කළෙමු.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාරගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලාංඡනය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි.
“හදවත” ලාංඡනයෙන් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි වී තිබේදැයි Factseeker මැතිවරණ මහලේකම් කාර්යාල පාර්ශවයෙන් සොයා බැලීය. එහිදී මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායකගෙන් කළ විමසීමකදී හෙතෙම සදහන් කළේ, “හදවත” ලාංඡනය යටතේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි වී නැති බවයි.
පසුගිය ජනාධිපතිවරණයේදී “හදවත” ලාංඡනය යටතේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීමට අයදුම් කර තිබූ බව ත් එම අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප වූ බව ත් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කළේ ය.
මෙම ලාංඡනය ලෝකයේ ආදරය පිළිබද සංකේතයක් පමණක් වන අතර හදවතේ සැබෑ අනුරුව එය නොවන නිසා එහිදී එම ලාංඡනය ප්‍රතික්ෂේප වූ බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ සදහන් කළේ ය.
ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ “හදවත” ලාංඡනය යටතේ ජනාධිපතිවරණයට තරග කරන බවට පුවත් පළ වුව ද ඒ ලාංඡනය යටතේ දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර නැති බව Factseeker තහවුරු කරයි.