චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි සහ නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ ටේබල් ටෙනිස් ක්‍රීඩාවේ යෙදෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙයි.
by Anonymous |
මාර්තු 25, 2025

හිරු නිවුස් ෆේස්බුක් පිටුවේ ද එම ඡායාරූපය පළකර තිබූ අතර එහි ඡයාරූප සටහන වූයේ, “අය – වැය විවාදය අතරතුර කොට්ටහච්චි, නියෝජ්‍ය ඇමති චතුරංග එක්ක ටේබල් ටෙනිස් ගහලා” යනුවෙනි.
තවත් සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද මෙම ඡායාරූපය හුවමාරු කර ගෙන තිබූ අතර ඒවායෙහි සටහන් කර තිබුණේ, ජනතාවගේ බදු මුදල්වලින් මොවුන් විනෝද වන බවට වන අදහස් ය.
මේ නිසා හුවමාරු වන ඡායාරූපය කුමක්ද? යන්න පිළිබඳව Factseeker සොයා බැලීය.
එහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් සහ අදාළ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් හමු විය.
එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරඟාවලියේ ජය සංඛේත සහ සහතික පත්‍ර පිරි නැමීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයකි.
මෙම ගෘහස්ථ තරඟාවලියේදී පැවැති යුගල මේස පන්දු තරඟයෙන් චතුරංග අබේසිංහ නියොජ්‍ය ඇමතිවරයා සහ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය ජයග්‍රහනය කළ බව එම නිවේදනයේ සඳහන් වී තිබිණි.
මෙම තරඟාවලියේ ජය සංඛේත පිරිනැමීම අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ කතානායක වෛද්‍ය ජගත් විග්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 දා පාර්ලිමේන්තුවේ දී සිදු වී ඇත.
ඒ අවස්ථාවේදී නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය සහ චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා හැඳ සිටියේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ඡායාරූපයේ ඇඳුම්වලිනි.
ඒ අනුව මෙම ඡායාරූපය පාර්ලිමේන්තුවේ පැවැති වාර්ෂික ගෘහස්ථ තරඟාවලියේදී නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ සහ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රීවරිය යුගල මේස පන්දු තරඟයේදී ගත් ඡායාරූපයක් බව Factseeker තහවුරු කරයි.