කසකස්තානයේ ගුවන් අනතුරින් සියල්ලන් ජීවිතක්ෂයට පත්වුණාද?

අසර්බයිජාන් ගුවන් සේවයට (AZAL) අයත් Embraer ERJ-190 වර්ගයේ J2-8243 දරණ මගී ගුවන් යානය පෙරේදා (25) කසකස්තානයේ අක්තාවු නගරයට ආසන්නයේ දී අනතුරට පත් විය.
by Anonymous |
දෙසැම්බර් 27, 2024

මෙම ගුවන් අනතුර පිළිබඳව මෙරට මාධ්‍ය විසින් ද වාර්තා කර තිබිණි.
ඊයේ (26) ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණේ, “කුරුලු රෑනක් ගුවන් යානයක් වට්ටවා 72 ක් මරුට” යන ශීර්ෂය පාඨයෙනි.
හැත්තෑ දෙදෙනකු රැගෙන පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක්, 25 දා කසකස්තානයේ අක්ටාවූ නගරයේ අක්ටාවූ ගුවන් තොටුපොළට නුදුරින් කඩා වැටීමෙන් යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව කසකස්තාන බලධාරීන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන බව ලංකාදීප පුවත්පත වා් කරයි.
ලංකාදීප පුවත්පතේ වැඩිදුරටත් මෙසේ සඳහන් වී තිබුණි.
“යානය කඩා වැටුණු සැණින් දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වුවත් ගිනිගෙන දැවෙමින් තිබූ සුන්බුන් අතරින් පණ ඇති කිසිවකු හමු නොවුණු බව පැවැසෙයි. යානය කඩා වැටෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත් සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.
අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මෙම යානයේ ගමන් කරමින් සිටි 72 දෙනාගෙන් 67 දෙනෙකු මගීන් බවත්, ඉතිරි පස් දෙනා නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
යානය කුරුල්ලන් රංචුවක් මැදින් පියාසර කළ බවත්, යානය අනතුරට පත්වූයේ කුරුල්ලන් ගැටී ඇන්ජින්වලට හානි වීමෙන් බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
යානය ඝන දුම් තත්වයක් මැද පියාසර කරමින් තිබියදී අනතුර සිදුවුණු බවද පැවැසෙයි. කෙසේ නමුත් අනතුරට හේතුව මෙතෙක් ස්ථිරව තහවුරු වී නැත. යානය අසර්බයිජානයේ බාකු නගරයේ සිට කසකස්තානය බලා පියාසර කරමින් තිබියදී මෙසේ අනතුරට ලක්විය.”,
ලංකාදීප වාර්තා කර තිබූ එම පුවත ප්‍රංශ පුවත් සේවයෙන් (AFP) උපුටා ගත් බව ද සඳහන් කර ඇත.
එය ලංකාදීප වෙබ් අඩවියේ පළ වූයේ මෙලෙසිනි.
ප්‍රංශ පුවත් සේවය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ කෙසේ ද ? යන්න පිළිබඳව FactSeeker නිරීක්ෂණය කළේ ය. එහි දැක්වුණේ, යානයේ ගමන් ගත් පුද්ගලයින් 67 දෙනෙකු අතරින් 38 දෙනෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ බවයි.
AFP පුවත් වාර්තා පහතින්.
https://x.com/AFP/status/1871881074826960931
https://x.com/AFP/status/1871964126311821360
මෙම පුවත් සම්බන්ධයෙන් FactSeeker කරුණු විමර්ශනයක යෙදුනි.
අසර්බයිජානයේ බකු අගනුවර සිට රුසියාවේ ග්‍රොස්නි නගරය දක්වා පියාසර කරමින් තිබූ අසර්බයිජාන් ගුවන්සේවයට (AZAL) අයත් Embraer ERJ-190 වර්ගයේ J2-8243 දරන මගී ගුවන් යානය දෙසැම්බර් 25 වන දින එරට වේලාවෙන් පෙරවරු 11.30 ට පමණ කසක්ස්තානයේ අක්තාවු නගරයට කිලෝමීටර 3ක දුරින් කඩා වැටී අනතුරට ලක් විය. අධික මීදුම හේතුවෙන් යානය ග්‍රොස්නි වෙත ගොඩබෑමට නොහැකි වී අතර, එය මුලින් මකච්කාලා වෙත හරවා යවනු ලැබ පසුව අක්තාවු වෙත යොමු කර ඇත.
කසක්ස්තානයේ tengrinews පුවත් වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට ගුවන්යානය කඩාවැටීමට අදාළව හේතු කිහිපයක් සාකච්ඡා වේ. එක් හේතුවක් ලෙස සඳහන් වන්නේ ගුවන්යානය කුරුල්ලන් රංචුවක ගැටීමෙන් අනතුර සිදු වූ බවයි. තවත් හේතුවක් ලෙස දැක්වෙන්නේ යානයේ ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමයි.
අසර්බයිජාන ජනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ අනතුරට හේතු විමර්ශන කිරීම සඳහා අගමැති අලි අසාදොව්ගේ නායකත්වයෙන් රජයේ කොමිසමක් ස්ථාපිත කර ඇත.
අනතුරට හේතුව සොයා බැලීමට සහ මියගිය සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට අවශ්‍ය උපකාර පිරිනැමීම සඳහා කසක්ස්තානය ද රජයේ කොමිසමක් පිහිටුවා ඇත.
අනතුරට පත් ගුවන්යානයේ ගමන්මග Flightradar වෙබ් අඩවිය නිරූපණය කර තිබූ ආකාරය පහතින්.
https://www.flightradar24.com/data/flights/j28243#3879c26d
කසක්ස්තාන හදිසි අවස්ථා සඳහා වන අමාත්‍යාංශය උපුටා දක්වමින් කසක්ස්තාන මාධ්‍ය වාර්තා කර තිබුණේ මගී ගුවන් යානයේ ගමන් ගත් පිරිස 69ක් බවත්, ඊට කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 5 දෙනෙකු ද ඇතුළත් වන බවත්ය.
අසර්බයිජාන ජාතිකයින් 42 දෙනෙකු,
රුසියානු ජාතිකයින් 16 දෙනෙකු,
කසක්ස්තාන ජාතිකයින් 6 දෙනෙකු,
කිරිගිස්තාන ජාතිකයින් 3 දෙනෙකු එම පිරිසට අයත්ය. මීට අමතරව පුරවැසිභාවය හෝ අනන්‍යතාව හඳුනා නොගත් කාන්තාවන් දෙදෙනෙකු ද මෙම පිරිසට ඇතුළත් වේ.
එම පුවත් වාර්තාව පහතින්.
මේ වන විට පවතින නවතම දත්ත අනුව අනතුරෙන් දිවි ගලවාගත් ගණන 29ක් වන අතර ඔවුන් අසර්බයිජාන, රුසියානු සහ කිරිගිස්තාන ජාතිකයින් වේ.
කසකස්තානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට Kazinform ප්‍රවෘත්ති නියෝජිතායතනය සඳහන් කරන්නේ ගුවන් අනතුරෙන් දිවි ගලවා ගත් 29 දෙනාගෙන් 27 දෙනෙකු Mangistau ප්‍රාදේශීය බහුකාර්ය රෝහල වෙත යොමු කර ඇති බවයි. ළමුන් 2 දෙනෙකු ප්‍රාදේශීය ළමා රෝහලක ප්‍රතිකාර ලබන බව අසර්බයිජානයේ Report ප්‍රවෘත්ති නියෝජිතායතනය සඳහන් කරයි.
අසර්බයිජාන ගුවන් සේවය J2-8243 යානයේ ගමන් ගත් මගීන්ගේ ලැයිස්තුවක් ප්‍රසිද්ධියට පත් කර තිබේ. එහි ඇතුළත් වන නම් සංඛ්‍යාව 67කි. අදාළ ලැයිස්තුව පහතින්.
https://x.com/azalofficial/status/1871851282371088774
අනතුර සිදු වීමට පෙර යානය තුළ සිට මගීන් ලබාගත් දර්ශන, අනතුර සිදු වන ආකාරය පෙන්වන දුර සිට ලබාගත් දර්ශන සහ අනතුරෙන් පසු දර්ශන පහත සබැඳි වෙත පිවිසීමෙන් නරඹන්න.
https://www.instagram.com/reel/DD_60XGIyNI
අසර්බයිජාන හදිසි අවස්ථා සඳහා වන අමාත්‍යාංශය නිකුත් කර ඇති ඡායාරූප හා වීඩියෝ පහතින්.
https://fhn.gov.az/en/information/information-of-mess-press-service-video-photo-fbdd8478
කසක්ස්තාන, අසර්බයිජාන, රුසියානු පුවත් වෙබ් අඩවි සහ තවත් අන්තර්ජාතික පුවත් නියෝජිතායතන මූලාශ්‍ර කර ගනිමින් සහ තිරස් පරීක්ෂාව ඔස්සේ ඒවා සත්‍යාපනය කරමින් FactSeeker මෙම කරුණු තහවුරු කරයි.