කදාන ප්‍රදේශයේ සැරි සැරූ මරිය මවුන්ගේ රුවට සමාන රුව කාගේද?
පසුගිය කාලසීමාව තුළ විවිධ ආගම් සහ ආගම් ප්‍රචාරය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් සමාජයේ කතා බහට ලක් විණි. ඇතැම් පුද්ගලයින් අත්අඩංගුවට ලක් වීඹ ද පසුගිය කාලසීමාව තුළ සිදු වුණි.
by Anonymous |
පෙබරවාරි 16, 2024
මේ අතර මීට දින කිහිපයකට ඉහතදී මරිය මව්තුමියගේ හැඩරුවට සමාන කාන්තාවක් කදාන ප්‍රදේශයේ සැරිසරන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණි.
“මරියතුමි නේද මේ? මේ සීන් එක මොකක්ද, කඳානේ මරියතුමි වගෙ කෙනෙක් පල්ලිය ඉස්සරහ ඉන්නව කියන්නේ ඇත්තක්ද, දන්න කෙනෙක් ඉන්නව නම් විස්තරේ කියන්නකො” යනුවෙන් යම්කිසි පුද්ගලයෙකු විසින් විමසන වීඩියෝවක් මෙලෙස හුවමාරු වෙමින් පවතී.
බොහෝ දෙනෙකු මේ කුමක්ද ? යන්න දැන ගැනීමට වැඩි උන්නදුවක් දක්වන බව ඒ සම්බනධයෙන් හුවමාරු වී තිබූ අදහස්වලින් පැහැදිළි විය.
එම නිසා කදාන ප්‍රදේශයේ සැරිසරන බව කියන කාන්තාව කවුරුන් ද? යන්න Fact seeker සොයා බැලුවෙමු.
අපි මේ සම්බන්ධයෙන් කදාන පොලිස් ස්ථානයෙන් කළ විමසීමකදී ඔවුන් සදහන් කළේ ,මෙම කාන්තාව රුසියානු ජාතික කාන්තාවක් බවත් ඇයගේ රුව, ඇද සිටි ඇදුම සහ ඇයගේ ගමන් විලාසය අනුව බොහෝ දෙනෙකු දැඩි කුතුහලයකින් පසු වන බවයි.
එමෙන්ම කදාන පොලීසිය ඇයගෙන් කට උත්තරයක් ද ලබා ගෙන ඇති අතර ඇය භාවනා කටයුතුවල යෙදෙන කාන්තාවක් වන අතර ඇය මෙරට වීදියක ගමන් කිරීමේදී ගත් වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී ඇති බවත් කදාන පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ ය.
Fact seeker මේ සම්බන්ධයෙන් කඳාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පියතුමන්ගෙන් කළ විමසීමකදී පියතුමන් සඳහන් කළේ, එම කාන්තාව කඳාන දේවස්ථානයේ දී දැක නොමැති අතර දේවස්ථානය සමඟ අදාළ කාන්තාවගේ කිසිදු සම්බන්ධතාවයක් ද, නොමැති බවයි.