ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි.

එළැඹෙමින් තිබෙන ශීත ඍතුවට සමගාමීව ස්විට්සර්ලන්තයේ ඊඩ්ල්වයිස් ගුවන්සේවයේ ගුවන්යානාවක් මෙරටට පැමිණිම සම්බන්ධයෙන් විවිධ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බව FactSeeker නිරීක්ෂණය කළේය.
by Anonymous |
නොවැම්බර් 1, 2025

ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛතම විවේකි ගමන් සපයන ගුවන් සේවය වන්නේ ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන් සේවයයි. එය ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවයේ සහ ලුෆ්තන්සා සමුහයේ අනුබද්ධිත සමාගමකි. එළැඹෙමින් තිබෙන ශීත ඍතුවට සමගාමීව ඊඩ්ල්වයිස් ගුවන් සේවය පසුගිය 28 වනදා සුරිච් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සිය පළමු පියාසැරිය ආරම්භ කළේ ය.
මෙම ගුවන් යානයේ පැමිණිම සමාජ මාධ්‍ය හා බොහෝ මාධ්‍ය හරහා වාර්තා කර තිබුණේ, ඉතිහාසයේ ප්‍රථම වරට ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන්යානයක් මෙරටට පැමිණි අවස්ථාව ලෙසයි. නමුත් ඇතැම් තැන් වල එය ඉතිහාසයේ පළමු ගුවන් ගමන නොවන බව සහ මීට පෙර සිටම මෙරටට ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන් සේවා පැවැති බව සදහන් කර තිබුණි. මෙම අදහස් වල පවතින පරස්පරතාව හේතුවෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට FactSeeker කටයුතු කළේය.
ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන්සේවයට අයත් W.K.064 දරන ගුවන්යානය පසුගිය 28 වනදා උදෑසන 10.03 ට සුරීච් අගනුවර සිට කටුනායක ගුවන් තොටුපල වෙත ළගාවී ඇත. ගුවන් මගීන් 257 දෙනෙකු සහ කාර්යය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් A-340 වර්ගයේ යානය පෙ.ව. 11.45 ට නැවත පිටත්ව ගොස් ඇත. කෙසේ වෙතත් මෙම ගුවන් ගමන ඉතිහාසයේ ප්‍රථම ගුවන් ගමන ද ? යන්න පිළිබදව සොයා බැලීමේදී පහත තොරතුරු අනාවරණය විය.
ඊඩ්ල්වයිස් (Edelweiss) නිල වෙබ් අඩවිය නිරීක්ෂණය කිරීමේදී 2017 වසරේ නොවැම්බර් 31 වනදා නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයක් හමුවිය. එය 2018 වසරේදී මෙරට ගුවන්ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව දක්වමින් පළ වූවකි. මෙහි කරුණු දක්වා ඇති ආකාරයට 2018 වසරේ ඔවුන්ගේ ගුවන් ගමන් සීමා පුළුල් කිරීමට ශ්‍රී ලංකාව වියට්නාමය සහ සී ෂෙල්ස් දූපත් ඇතුළත් වී ඇත. එමෙන්ම ඔවුන් සතිපතා ඍජු ගුවන් ගමන්වාර 2ක් කොළඹ සිට සූරිච් දක්වා ගමන් කිරීමට එහිදී තීරණය කර ඇති බව ද දක්වා ඇත.
එමෙන්ම මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ද ප්‍රචාරය වී ඇත. මෙරට මාධ්‍ය හරහා ද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබූ අතර Dailymirror වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරයට 2018.11.03 වනදා ගුවන් ගමන් ආරම්භ වන බවත් එහි ගුවන් ගමන් කාලස ටහන ද ඇතුළත් කර තිබුණි.
ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ මෙරට ගුවන් ගමන් සිදු වී ඇත්ද ? යන්න පිළිබදව සොයා බැලීමේදී DailyNews වෙබ් අඩවිය වාර්තා කරතිබූ පුවතක් හමුවිය.
https://archives1.dailynews.lk/2018/11/08/business/167867/edelweiss-commences-flights-colombo

2018.11.04 වනදා ඊඩ්ල්වයිස් ගුවන් සේවය මෙරට ගුවන් ගමන් ආරම්භ කර ඇති බව එහි සඳහන් වී තිබිණි. ඒ සම්බන්ධයෙන් තවත් සමාජ මාධ්‍ය ජාල හරහා ද තොරතුරු හුවමාරු කරගෙන තිබුණි. එම අවස්ථාවේ ගත් ඡායාරූප එකතුවක් ද ඒ අතර විය.
ඒ අනුව මෙය ඉතිහාසයේ ප්‍රථම වරට ඊඩ්ල්වයිස් (Edelweiss) ගුවන්යානයක් මෙරටට පැමිණි අවස්ථාව නොවන බව පැහැදිළිය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන්ද විමසීමක් කළෙමු. ඒ අනුව එම ගුවන් සේවා සම්බන්ධයෙන් මෙහෙයුම් නිලධාරිනියක ලෙස කටයුතු කරන දිලිනි රත්නායක පවසා සිටියේ, ඉතිහාසයේ ප්‍රථම වරට ලෙසින් සදහන් වීම නිවැරදි නොවන බවයි. එම ගුවන් සේවය ආරම්භ වීමෙන් පසු වසර දෙකෙන් දෙකට මෙම සේවය නොකඩවා ක්‍රියාත්මක වූ බවත් ඇය සදහන් කළාය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් කළ විමර්ශනවලින් ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඊඩල්වයිස් (Edelweiss) ගුවන්සේවයෙන් ගුවන්ගමන් ආරම්භ වෙමින් ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන්යානයක් පැමිණි බවට සාමාජ මාධ්‍ය ඔස්සේ පළවන පුවත් සාවද්‍ය බව FctSeeker තහවුරු කරගන්නා ලදී