සජබ මන්ත්‍රී මරික්කාර්, ජනපති රනිල් සමග රහසිගත සාකච්ඡාවක් කළා ද?
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග රහසිගත සාකච්ඡාවක් පැවැත්වූ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝවක් factseeker නිරීක්ෂණය කළේ ය.
by Anonymous |
සැප්තැම්බර් 4, 2024
“මරික්කාර් රනිල් අතර සුහද සාකච්ඡාවක් ලීක් වෙයි. මාලිමාවට වැඩේ දෙන්න රනිල් සජබ එක්ක එකතු වෙලා ද?” ආදී වශයෙන් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වූ වීඩියෝ සහ සටහන් factseeker නිරීක්ෂණය කළේ ය.
එම වීඩියෝව මෙතැනින් – https://x.com/KaviSenu/status/1830483585758855554
මෙහිදී මරික්කාර් මන්ත්‍රීවරයා විසින් තමාට තීරුබදු රහිත වාහන බලපත්‍රයකට අත්සන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින බව සඳහන් කර තිබිණි.
මෙය සත්‍ය ද? යන්න පිළිබඳව factseeker සොයා බැලුවෙමු.
මෙවැනි හමුවක් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇද්දැයි factseeker සොයා බැලූ අතර එවැනි මාධ්‍ය වාර්තාවක් මේ දිනවල පළ කර නැති බව අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගෙන් ද factseeker විමසුවෙමු.
සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය ද ඒ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ මෙය වැරදි අදහසක් සහිතව හුවමාරු වන විඩියෝවක් බවත් එවැනි සාකච්ඡාවක් සිදුව නොමැති බවත්ය..
මරික්කාර් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේ, මෙය 2024 ජුනි මාසයේදී සිදුවු ජාතික සේවක සංගමයේ ලේකම්වරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ද වු සිරිනාල් ද මෙල්ගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වු අවස්ථාවේදී ගත් වීඩියෝවක් බවයි. පක්ෂ මාරුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ තමා සාකච්ඡා කර නොමැති බවත් පක්ෂ මාරුවට තමාට අවශ්‍යතාවක් නොමැති බවත් මෙහිදී මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය එමෙන්ම තමා මෑතකදී ජනාධිපතිවරයා හමු නොවූ අතර මෙය තමා අපහසුතාවයට පත්කිරීමට කළ කටයුත්තක් බව ද හෙතෙම පැවසීය.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළ අතර එහිදී ඔවුන් ද සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෑතකදී මරික්කාර් මන්ත්‍රීවරයා හමු නොවූ බව යි.