පුංචි ආණ්ඩුව නොදින්නොත් ජනාධිපතිවරයාට මුදල් නොදී ඉන්න පුළුවන්ද?

ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකරන පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබා දීමට පෙර යළි යළිත් සිතා බැලීමට සිදු වන බවට හා එවැනි අවස්ථාවල මුදල් ලබා නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැවැත්වූ මැතිවරණ රැස්වීම්වලදී සිදු කළ ප්‍රකාශ පසුගිය දිනවල දැඩි කතාබහට ලක් විය. සැබැවින්ම ජනාධිපතිවරයාට එසේ ප්‍රතිපාදන අත්හිටුවිය හැකිද? මධ්‍යම රජයේ ප්‍රතිපාදන නොමැතිව පළාත් පාලන ආයතනයක් පවත්වාගෙන යා නොහැකිද? මේ FactSeeker ඒ සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක්.
by Anonymous |
මැයි 2, 2025

2025.05.06 වන දින පැවැත්වීමට දින නියම වී ඇති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක මට්ටමෙන් සංවිධාන කරන ජනහමු මාලාවට ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මේ දිනවල සහභාගී වී සිටී. එහි මුල් ජනහමු කිහිපයකදී “ජාතික ජන බලවේගය නොවන කණ්ඩායමක් ජයග්‍රහණය කොට බලය පිහිටුවන පළාත් පාලන ආයතනවලට මුදල් වෙන්කිරීම කළ නොහැකි බවත්, වෙන්කළද එය ඉතා සැලකිල්ලෙන් කිරීමට සිදුවන බවටත්” ජනාධිපතිවරයා කළ ප්‍රකාශ දැඩි කතාබහට ලක්විය.
2025.04.12 දින කන්තලේදී පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවට එක් වෙමින් ජනාධිපතිවරයා පළ කළ අදහස් මෙසේය.
“අපි නොවැම්බර් මාසෙදී යළි අයවැයක් ගේනවා. ජුනි මාසය වෙද්දී ඒකට යෝජනා ගන්නවා. එතකොට ප්‍රාදේශීය සභාව මොකද කරන්න ඕනා? මෙන්න කන්තලේ ප්‍රාදේශීය සභාවේ ආදායම; මෙන්න තියෙන වැඩ. බලපුවාම මොකද වෙන්නෙ? ආදායම මදි, කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනෙ, මහ ආණ්ඩුවෙ ඉල්ලනවා මේ වැඩ ටික කරන්න. අපි ඒක මහ ආණ්ඩුවෙන් දෙන්නම්.
අපි යෝජනාව අතට ගන්නවා. මුදල් අමාත්‍යාංශයනෙ. යෝජනාව අතට අරන් බලනවා, යෝජනාව ඇවිල්ලා තියෙන්නෙ කන්තලේ ප්‍රාදේශීය සභාවෙන්. ඊළඟට බලනවා එවලා තියෙන්නෙ කවුද? ආ … කන්තලේ ප්‍රාදේශීය සභාව තියෙන්නෙ ජාතික ජන බලවේගය අතේ, එහෙනම් ඇස් පියාගෙන යෝජනාව අනුමත කරලා සල්ලි ලබාදෙනවා. ඊළඟ අපි බලනවා, නෑ ප්‍රාදේශීය සභාව වෙන කාටදෝ ගිහිල්ලා. ඒගොල්ලො තමයි එවලා තියෙන්නෙ. මොකද කරන්නෙ? දහ සැරයක් බලනවා. ඇයි? දන්නවානෙ හිටපු කට්ටිය කොහොමද හැදුවෙ? පාරට කොන්ක්‍රීට් ටිකයි, වැඩිපුර සාක්කුවට. ගියෙ නැද්ද?
එහෙම නම් සල්ලි දෙන්නෙ නෑ. හොරකම් කරන්න සල්ලි දෙන්න ඕනෙද? එහෙම නම් නෑ, මතක තියාගන්න. එහෙම නම් එවන්න ඕනෙ කවුද? ජාතික ජන බලවේගයට තමයි මේ ප්‍රාදේශීය සභා සියල්ලේම බලය ලබාදෙන්න ඕනෙකම තියෙන්නෙ මේ සැරේ. නැත්නම් වැඩක් නෑ. එහෙම නැත්නම් මොකක්ද වෙන්නෙ? කොන් වුණු ප්‍රාදේශීය සභා. මහ ආණ්ඩුව කරන වැඩවලට කකුලෙන් අදින ප්‍රාදේශීය සභා. එහෙම හරියන්නෙ නෑ.”
තිස්සමහාරාමය, බුත්තල, මහනුවර, අක්කරේපත්තුව, සමන්තුරේ, මඩකලපුව, මන්නාරම ප්‍රදේශවල පැවති ජනහමුවලදීද ජනාධිපතිවරයා මීට සමාන අදහස් පළ කර තිබුණි. එමෙන්ම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ද ජනහමුවලදී මෙවැනි අදහස් පළ කරන අවස්ථා අපගේ නිරීක්ෂණයට ලක් විය.
මෙහිදී සඳහන් කරන අන්දමට යම් ආකාරයකින් මධ්‍යම ආණ්ඩුවෙන් ලබාදෙන ප්‍රතිපාදන සීමා කිරීමට/අවහිර කිරීමට හෝ අත්හිටුවීමට මුදල් අමාත්‍ය ධුරය හොබවන ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට හැකියාවක් තිබේද?
ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා යන පළාත් ආයතනවලට අරමුදල් සම්පාදනය කරගන්නා මූලාශ්‍ර මොනවාද යන්න අපි සොයා බැලුවෙමු.
මහා නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන ආයතන පද්ධතිය පාලනය වන්නේ නීති සම්පාදන 3ක් මගිනි.
- 1947 අංක 16 දරන ආඥා පනතින් සංශෝධිත 1865 අංක 17 දරන මහ නගර සභා ආඥා පනත
- 1937 අංක 61 දරන නගර සභා ආඥා පනත
- 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත
මහ නගර සභා
මහා නගර සභා ආඥාපනතේ IX වන කොටස මගින් “මහ නගර සභා අරමුදල” පිළිබඳව දැක්වෙන අතර 185 වන වගන්තිය තුළින් “මහ නගර සභා අරමුදල සහ එහි සංයුතිය” පිළිබඳව තොරතුරු දක්වයි. ඊට අනුව,
I. වරිපනම් බදු, තීරු බදු, ගාස්තු හා වෙනත් අය කිරීම්
II. නාගරික අධිකරණයේ දඩ මුදල්, වෙනත් දඩ මුදල්
III. මුද්දර ගාස්තු
IV. විකිණීම්, බදුදීම් හෝ වෙනත් ගනුදෙනු වලින් ලැබුණු මුදල්
V. දේපළවලින් හෝ සේවාවන්ගෙන් ලැබෙන මුදල්
VI. පාර්ලිමේන්තුව විසින් විසර්ජනය කරනු ලබන හෝ පවරා දෙනු ලබන මුදල් හා ආදායම් ප්‍රභව
VII. ඇමතිවරයා වෙන්කර දෙන දීමනා
VIII. සභාවේ බලතල හා කාර්යවලින් උපදින මුදල්
යනාදියෙන් මහ නගර සභා අරමුදල මුල්‍යනය වෙයි.
නගර සභා
නගර සභා ආඥාපනතේ VII වන කොටස මගින් “මුදල්” පිළිබඳව සඳහන් කරන අතර 158 වන වගන්තිය තුළින් “ප්‍රාදේශීය අරමුදල සහ එහි සංයුතිය” පිළිබඳව තොරතුරු දක්වයි. ඊට අනුව,
I. දඩ මුදල්
II. මුද්දර ගාස්තු
III. ඇමතිවරයා වෙන්කර දෙන දීමනා
IV. වරිපනම් බදු, බදු, තීරු බදු, ගාස්තු සහ වෙනත් අයකිරීම්
V. විකිණීම්වලින්, බදුදීම්වලින් හා ගනුදෙනුවලින් ලැබෙන මුදල්
VI. සභාවේ දේපළවලින් හෝ පොදු සේවයක් ක්‍රියාත්මක කිරීමෙන් ලබන ආදායම්
VII. වෙනත් පවරා ඇති ආදායම් මාර්ගවල මුදල්
VIII. පාර්ලිමේන්තුව විසින් විසර්ජනය කරනු ලබන හෝ පවරා දෙනු ලබන මුදල් හා ආදායම් ප්‍රභව
IX. සභාවේ බලතල හා කාර්යවලින් උපදින මුදල්
යනාදියෙන් ප්‍රාදේශීය අරමුදල මුල්‍යනය වෙයි.
ප්‍රාදේශීය සභා
ප්‍රාදේශීය සභා පනතේ V වන කොටස මගින් “මුදල්” පිළිබඳව සඳහන් කරන අතර 129 වන වගන්තිය තුළින් “ප්‍රාදේශීය සභා අරමුදල” පිළිබඳව තොරතුරු දක්වයි. ඊට අනුව,
I. දඩ මුදල්
II. මුද්දර ගාස්තු
III. ඇමතිවරයා විසින් කරනු ලබන ප්‍රදාන
IV. වරිපනම් බදු, තීරු බදු ගාස්තු සහ වෙනත් අය කිරීම්
V. විකිණීම්වලින්, බදුදීම්වලින් හා ගනුදෙනුවලින් ලැබෙන මුදල්
VI. සභාවේ දේපළවලින් හෝ පොදු සේවයක් සැලසීමෙන් ලැබෙන මුදල්
VII. ප්‍රාදේශීය සභාවට නීත්‍යනුකුලව හිමි ආදායම් මාර්ග
VIII. පාර්ලිමේන්තුවෙන් පවරා දෙන මුදල් හා ආදායම්
IX. ණයට ගන්නා ලද මුදල්
X. වෙනත් ආකාර වලින් ලැබෙන මුදල්
යනාදියෙන් ප්‍රාදේශීය සභා අරමුදල මුල්‍යනය වෙයි.
ශ්‍රී ලංකාවට පළාත් පාලනය හා පළාත් පාලන ආයතන සම්බන්ධ දිගු ඉතිහාසයක් පවතී. 1987 දී හඳුන්වා දුන් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් පාලන කටයුතු පළාත් සභා යටතට පැවරිණි. මේ අනුව පළාත් පාලන ආයතනවල කටයුතු පාලනය හා අධීක්ෂණය මධ්‍යම රජය වෙතින් පළාත් සභා වෙත පැවරිණි. කෙසේ වුවද පළාත් පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, පළාත් පාලන ආයතනවල සංයුතිය, පළාත් පාලන ආයතනවල ව්‍යුහය සහ ස්වරූපය තීරණය කිරීමේ බලය රජය සතු වේ.
පළාත් පාලන ආයතන විසුරුවා හැරීමේ බලය හා පළාත් පාලන ආයතනවල පරිපාලනය අධීක්ෂණය කිරීම යන බලතල පළාත් සභාව සතු වේ. පළාත් පාලන ආයතනවලට නීතියෙන් හිමි වී ඇති බලතල පළාත් සභාවක් විසින් අහිමි කළ නොහැක. අවශ්‍ය නම් අතිරේක බලතල පවරා දිය හැක.
මේ අනුව පළාත් පාලන ආයතන සඳහා මුදල් පාලනය සම්බන්ධයෙන් විමධ්‍යගත බලතල පවරා ඇති බව නීති විමර්ශනයේදී පැහැදිලි වේ.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් මහරගම මහා නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන ධනුෂ්ක රාමනායක සඳහන් කළේ පළාත් පාලන ආයතන වෙත නීතියෙන් පවරා ඇති මුල්‍ය බලතල ප්‍රකාරව එම ආයතනවලට අරමුදල් සපයා ගැනීමේදී මධ්‍යම රජය හැරුණු විට තවත් බොහොමයක් මූලාශ්‍ර පවතින බවය.
පළාත් පාලන ආයතනවල සේවය කරන රජයේ ස්ථිර සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මධ්‍යම රජයේ ඒකාබද්ධ අරමුදල මගින් මුදල් වෙන්කිරීම සිදු කරයි. මුදල් කොමිෂන් සභාවේ සීමාවන්ට යටත්ව මෙම මුදල් බෙදාදීම සිදු කරයි.
කෙසේ වෙතත් නගර සභාවේ සේවාව සඳහා ස්ථිර සේවකයින් ප්‍රමාණවත් නොවන විටදී කොන්ත්‍රාත් සහ අනියම් පදනමින් සේවකයින් බඳවා ගැනීමේ හැකියාව නගර සභාවලට පවතී. ඔවුන්ගේ වැටුප් ගෙවීම නගර සභාවේ අරමුදල් මගින් සිදු කළ යුතුය. පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා විශාල පරාසයක සේවාවන් නගර සභාවකින් සපයා ගත හැකි බවත්, ඒ කිසිවක් සඳහා මධ්‍යම රජයේ අරමුදල් අනවශ්‍ය බවත් ඔහු එම වීඩියෝවේදී පෙන්වා දෙයි.
මහනගර සභාවක් සතුව ගිනි නිවීමේ ඒකකයක් තිබිය යුතුය. එම ඒකකයකට ගිනි නිවීමේ රථයක් මිලදී ගැනීමට අවශ්‍යතාවක් මතු වුවහොත් එවැනි අවස්ථාවක විදේශ අරමුදලක් සඳහා අයදුම් කිරීමට හෝ රේඛීය අමාත්‍යාංශය ඔස්සේ මධ්‍යම රජය හරහා උපකාර පැතීමට සිදු විය හැකි නමුත් එවැනි අවස්ථාවකදී වුවද රජයට එවැනි අරමුදල් නිදහස් නොකර සිටීම ප්‍රායෝගික නොවන බව ඔහු එහිදී අවධාරණය කරයි.
මධ්‍යම රජය පළාත් පාලන ආයතන සඳහා මුදල් වෙන් කරන ක්‍රමවේදය ඔහු එහිදී පෙන්වා දෙයි.
ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ජනාධිපති වැය ශීර්ෂයෙන් නියමිත කොන්දේසි අනුව මුදල් වෙන් කළ හැක. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද සිය විමධ්‍යගත අරමුදල්වලින් යම් ප්‍රමාණයක් ප්‍රාදේශීය සංවර්ධනය සඳහා යොමු කළ හැක. නමුත් එසේ වෙන් කරන කිසිදු මුදලක් සෘජුව නගර සභා වෙත එවීමට නොහැක.
එවැනි අවස්ථාවකදී සිදු වන්නේ මහා භාණ්ඩාගාරයේ මුදල් අදාළ රේඛීය අමාත්‍යාංශයට ලබාදීමත්, එම මුදල් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ලබාදීමත්ය. බොහෝවිට මුදල් ප්‍රතිපූරණය කිරීම සිදු වන බව ඔහු පෙන්වා දෙයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අවශ්‍ය නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කොන්ත්‍රාත්කරු බවට අදාළ පළාත් පාලන ආයතනය නම් කිරීමේ හැකියාව ඇත.
දුෂ්කර ප්‍රදේශවල පවතින හෝ ආදායම් සීමිත පළාත් පාලන ආයතන අතළොස්සක් හැරුණු විට බහුතරයක් ආයතනවලට එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ කටයුතු සඳහා ප්‍රමාණවත් ආදායම් මාර්ග පවතින බව ඔහු එහිදී පෙන්වා දෙයි.
කොළඹ මහ නගර සභාව ප්‍රසිද්ධ කර ඇති 2023 වාර්ෂික ආදායම් වියදම් වාර්තාව විමර්ශනයේදී අපට නිරීක්ෂණය වූයේ එම වර්ෂය සඳහා මහා භාණ්ඩාගාරය මගින් රු. 3,417,229,000 ක මුදලක් කොළඹ මහ නගර සභාවට ලබා දී ඇති බවත්, ඉන් රු. 3,375,867,000 ක මුදලක් වෙන් කර ඇත්තේ සේවක වැටුප් සඳහා බවත්ය.
ඒ අනුව බහුතරයක් පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජයේ ප්‍රතිපාදන හැරුණු විට එම ආයතනවල කටයුතු පවත්වාගෙනයාම සඳහා ප්‍රමාණවත් ආදායම් මූලාශ්‍ර ව්‍යවස්ථාපිතව විමධ්‍යගත කොට පවරා ඇති බව FactSeeker කරුණු විමර්ශනය කර තහවුරු කරයි.