ඖෂධවලට වැට් බද්ද ගැන මන්ත්‍රී මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍යයි.

බෙහෙත් සඳහා 18%ක වැට් බද්ද තවමත් පවත්වාගෙන යන බවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පෙරේදා (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
by Anonymous |
පෙබරවාරි 27, 2025

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සඳහන් කළේ, එම ප්‍රකාශය සාවද්‍ය බවත් බෙහෙත් සඳහා වැට් බද්දක් අය නොකරන බවත්ය.
ඒ අනුව, රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයාගේ හා අග්‍රාමාත්‍යවරියගේ මෙම ප්‍රකාශයන්හි සත්‍ය අසත්‍යතාව FactSeeker පිරික්සා බැලීය.
රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් ඔහු ආණ්ඩුවට චෝදනා කළේ, සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍යය සඳහා වැඩියෙන් මුදල් වෙන්කර ඇති බව ප්‍රකාශ කළත්, ලෙඩ්ඩු බෙහෙත් ගනිද්දී වත්මන් ආණ්ඩුව යටතේ ද 18% ක වැට් බද්දක් ගෙවීමට සිදුවීඇති බවයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඊට ප්‍රතිචාර දක්වමින් අවධාරණය කළේ බෙහෙත් සඳහා වැට් බද්දක් පනවා ඇති බවට මන්ත්‍රීවරයා සිදු කරන ප්‍රකාශය අසත්‍ය බවයි. බෙහෙත් සඳහා වැට් බද්දක් පනවා නොමැති අතර දේශීයව නිෂ්පාදනය කරන බෙහෙත්වල ඇසුරුම් සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවලට පනවා තිබූ වැට් බද්ද ද ඉවත් කර ඇති බව එහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
FactSeeker , මීට අදාළව 2023 අංක 32 දරන එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත සහ 2025 අයවැය කථාව පිරික්සා බැලූ විට පෙනී ගියේ 2023 අංක 32 දරන එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත මගින් 2024.01.01 දින සිට වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ සහ සේවා ලැයිස්තුවට ඖෂධ ද ඇතුළත් බවයි.
එම ලැයිස්තුවේ සැපයීම හෝ ආනයනය කිරීම නිදහස් වන භාණ්ඩ ලැයිස්තුවට, ඖෂධ නිෂ්පාදන, ඖෂධ වර්ග (සුවඳ විලවුන් වර්ග), ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය ඇතුළත් බව සවිස්තරාත්මකව සඳහන් වේ.
ඒ අනුව 2024.01.01 දින සිටම ඖෂධ සඳහා වූ 18% වැට් බද්ද ඉවත්වී ඇති අතර ‘බෙහෙත් සඳහා 18% ක වැට් බද්දක් මෙම රජය යටතේ ද පවත්වාගෙන යන බවට’ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා කරන ලද පාර්ලිමේන්තු ප්‍රකාශය කරුණුමය වශයෙන් සාවද්‍ය එකක් බව සනාථ වේ.
එහෙත්,2024.01.01 දින සිට වැට් බද්දට යටත් අයිතම ලෙස ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ හෝ ආයුර්වේද ඖෂධ ඇසුරුම් කිරීම සඳහා භාවිත කරන ඇසුරුම් ද්‍රව්‍ය තවදුරටත් ඇතුළත්ව තිබිණි.
2025 අයවැය කථාවේ IV වන ඇමුණුමේ එකතු කළ අගය මත බදු(VAT) සම්බන්ධයෙන් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට සංශෝධන කිහිපයක් යෝජනා කර තිබූ අතර එහි දැක්වෙන එක් යෝජනාවක් ලෙස’ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ඖෂධ හෝ ආයුර්වේද ඖෂධ ඇසුරුම් කිරීම සඳහා භාවිත කරන ඇසුරුම් ද්‍රව්‍ය වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව’ සඳහන් වේ.
ඒ අනුව, ඖෂධ පිළිබඳව පනවා තිබූ වැට් බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී දක්වන ප්‍රතිචාරය නිවැරදි බවද FactSeeker වැඩිදුරටත් තහවුරු කරයි.