Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #explainer

රුපියල් 76 000 ක් වන ඖෂධය රජයේ රෝහල්වලින් “නොමිලේ” ලබාදුන් එන්නතක්

Factual
Factual

රුපියල් 76,000 ක් ව පැවති පිළිකා ඖෂධයක් රුපියල් 370ක් දක්වා මිල පහත දමා ඇති බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා රැසක් පළ විය.

by Anonymous |

ජනවාරි 30, 2025

මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව පාර්ශ්ව බොහොමයක් විමතිය පළ කරන පසුබිමක මෙම පුවත සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට FactSeeker කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් වඩාත් ප්‍රචලිත වූ පුවත වූයේ 2025 ජනවාරි මස 19 වන දින ලංකාදීප වෙබ් අඩවියේ පළ කර තිබූ ප්‍රවෘත්තියයි. “76,000 පිළිකා පෙත්ත අපි 370 ට දුන්නා” යන ශීර්ෂයෙන් එම පුවත වාර්තා කර තිබිණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඉකුත් 17 දා කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙම පුවත පළ කර තිබිණි.

එහි මෙසේ සඳහන් වෙයි.

“පසුගිය කාලයේ පිළිකා  ‌රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ, එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(රු.76000.00). රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින්. අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වීම සමාගම් තුනක් ආරම්භ කළා. ඉන් පස්සෙ ඒ බෙහෙත ඒ සමාගමම දැන් රුපියල් තුන්සිය හැත්තෑවට (රු.370.00) ලබාදෙන බව වෛද්‍ය හංසක විජේමුණි එම පුවත මගින් අනාවරණය කර තිබිණි.

මෙහිදී මෙය පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධයක් බව ලංකාදීප වෙබ් අඩවිය පළ කළ පුවතට ඉකුත් 21 දා ලංකාදීප පුවත්පත මගින් නිවැරදි කිරීමක් කර තිබිණි.ඒ මෙම ඖෂධය පිළිකා රෝගීන්ට නොව හෘද රෝගීන්ට දෙන ඖෂධයක් බවට නිවැරදි කර ඇත.

Dr Hansaka Wijemuni නමින් පවත්වාගෙන යන නිල Facebook පිටුවෙහි 2025 ජනවාරි මස 16 වන දින පළ කෙරුණු පළකිරීමක  දැක්වුණේ,

“පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බවත්, ඒ හේතුවෙන් රුපියල් 70,000ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගත් ඖෂධයක මිල රුපියල් 370ක් දක්වා පහත වැටුණු බවයි.”

එය මෙතැනින් – https://www.facebook.com/share/p/15DDdQV6HS/

මෙම අවස්ථාවට අදාළ හිරු ප්‍රවෘත්ති මාධ්‍ය ආවරණය මෙතැනින් –  https://youtu.be/sg_99N98dxw

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධිත මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කර තිබිණි.

Dr Hansaka Wijemuni(Author) පිටුව මගින්ම ඉහත Facebook පළකිරීමට අදහසක් දක්වමින් සඳහන් කර තිබුණේ,

“ඒකාධිකාරිය බිඳ දැමීමේ ප්‍රතිඵලයක් ලෙස ඖෂධ වියදම සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරගැනීමට හැකි බවය. ඊට උදාහරණ ලෙස Papaverine injection BP 60mg/2ml නම් ඖෂධයේ පැරණි මිල රුපියල් 76000.00 ක් සහ නව මිල රුපියල් 359.00 ක්” ලෙස දක්වා තිබිණි.

මේ පිළිබඳ ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශය සිදු කළ සොයාබැලීමක් මෙතැනින් – https://youtu.be/_6i6xzBkhgs

එහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණිගේ ප්‍රකාශයක් උපුටා දැක්විණි.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ, හෘද සැත්කම් සඳහා බහුලව යොදා ගන්නා Papaverine Hydrochloride නමැති ඖෂධය සඳහා

ඖෂධ නියාමන අධිකාරිය විසින් 2018 දී රුපියල් 76,500.00 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ බවයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන ආකාරයට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින්,

2019 දී, රු. 34,000 කට,

2020 දී, රු. 35,000 කට,

2021 දී, රු. 41,000 කට,

2022 දී, රු. 72,500 කට,

2023 දී, රු. 50,776 කට මෙම ඖෂධය මිලදී ගෙන තිබේ.

එහිදී තවදුරටත් ඔහු ප්‍රකාශ කරන්නේ ඖෂධ මිල අඩුකිරීම සඳහා රජය ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ ඖෂධය රු. 370.00 ට ලබාදීමට ඖෂධ සමාගම් එකඟතාව පළ කළ බවයි.

කෙසේ වෙතත්, ඖෂධවල උපරිම සිල්ලර මිල නියම කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කර ඇති නිවේදන FactSeeker පරීක්ෂා කළ අතර 2018 හෝ වෙනත් වර්ෂයක Papaverine Hydrochloride ඖෂධය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව එම ලේඛනවල සඳහන් නොවිණි.

එම පිටුවට අදාළ සබැඳිය පහතින්.

http://www.nmra.gov.lk/pages/price-controls

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් එක් එක් වර්ෂයේදී මෙම ඖෂධය මිලදී ගෙන ඇති මිල ගණන් සම්බන්ධයෙන් FactSeeker තොරතුරු ඉල්ලීමක් සිදු කර ඇති අතර ඉදිරියේදී එම තොරතුරු සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙම ඖෂධය මිලදී ගැනීම සඳහා සිදු කළ ගෝලීය ටෙන්ඩර් කැඳවීම් එම ආයතනයේ නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරය පහතින්.

මෙම ඖෂධය මිලදී ගැනීම සම්බන්ධයෙන් පවතින වාර්තා විමසීමේදී 2021 දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පහත වාර්තාව හමුවිය.

https://naosl.gov.lk/web/images/audit-reports/upload/2021/state_corporation/2-xii/State-Pharmaceuticals–Corporation-E.pdf

එහි දැක්වුණු සටහන පහත දැක්වේ.

“වෛද්‍ය සැපයුම් අංශය විසින් පැපවෙරීන් HCL එන්නත් 60mg/2ml ඒකක 1,560 ක් රුපියල් මිලියන 68.59 ක වියදමින් මිලදී ගන්නා ලද අතර එය 2021 වර්ෂයේ අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන තිබුණි. මෙම ප්‍රසම්පාදනය සඳහා සංස්ථාව විසින් පවත්වන ලද ජාත්‍යන්තර විවෘත තරඟකාරී ලංසුවලට අනුව ලංසු ඉදිරිපත් කර ඇත්තේ, එක් ලංසුකරුවෙකු පමණකි. එබැවින් එන්නත් ඒකකයක ඇස්තමේන්තුගත මිල රුපියල් 255.07 ක් වුවද ඒකකයක් සඳහා ලංසුව රු. 40,868.98 ක් වූ බැවින්, නැවත මිල ගණන් කැඳවිය යුතුව තිබුණි. නමුත් එසේ නොකර, මෙම එන්නතෙහි ඒකකයකට රුපියල් මිලියන 127.72 කට එන්නත් ඒකක 3,125 ක් මිලදී ගැනීම සඳහා දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමැතිය ලබා දී ඇත.

තාක්ෂණික ඇගයීම් කමිටු පත් කිරීම සම්බන්ධයෙන් සංස්ථාව අනුගමනය කරන ක්‍රියා පටිපාටියට අනුව, රුපියල් මිලියන 50 ඉක්මවන ප්‍රසම්පාදන ඇගයීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කළ යුතුව ඇත. එහෙත් සංස්ථාව විසින් පත් කරන ලද පුද්ගලයින් 03 දෙනෙකුගෙන් පමණක් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් ලංසු ඇගයීමට ලක් කර ඇත. වෛද්‍ය සැපයුම් අංශය ණයවර ලිපි විවෘත කිරීමට පෙර පවතින තොග මට්ටම සලකා බලා හෝ වෛද්‍ය සැපයුම් අංශයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඇණවුම ලබා දිය යුතු බව දන්වා තිබුණද, සංස්ථාව එසේ කර නැත.

එලෙසම, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ තීරණය අනුව ණයවර ලිපි විවෘත කළ යුතුව තිබුණේ, මුළු එන්නත් ඒකක ප්‍රමාණයෙන් සියයට 40 ක් හෙවත් එන්නත් ඒකක 1,250 ක් සඳහා පමණකි. වාර්ෂික භාවිතය එන්නත් ඒකක 650 ක් වූ බැවින්, දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියට පටහැනිව එන්නත් ඒකක 1,563 ක් සඳහා රුපියල් මිලියන 68.73 ක ණයවර ලිපි විවෘත කර තිබුණි. 2021 ජූලි 18 වන දින මිලදී ගත් එන්නත් ඒකක 1,560 න් 2022 අගෝස්තු 20 වන විට එන්නත් ඒකක 1,421 ක් ඉතිරිව තිබූ අතර ඒවා 2023 පෙබරවාරි මාසයේදී කල් ඉකුත් වන බව නිරීක්ෂණය විය. 1987 අංක 03 දරන පොදු කොන්ත්‍රාත් පනත යටතේ කොන්ත්‍රාත්තුව ලියාපදිංචි කර සංස්ථාව සඳහා ලියාපදිංචි සහතිකය ලබා ගැනීමට පියවර ගෙන නොතිබුණි.”

FactSeeker මෙම ඖෂධයේ මිල පහත වැටීම පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් කරුණු විමසීමක් කළෙමු.

ඔහු සඳහන් කරන ආකාරයට 2016 වර්ෂයේදී ඖෂධ වර්ග 60 ක මිල පාලනයක් සිදු කර තිබේ. ඊට අමතරව (වෛද්‍ය) උපකරණ වර්ග 40ක පමණ මිල පාලනය කර ඇත. මීට අමතරව ඖෂධ ආනයනයේදී ඊට අදාළ CIF අගය හෙවත් ගොඩබාන විට වටිනාකම (Cost-පිරිවැය, Insurance-රක්ෂණය, Freight-භාණ්ඩ ප්‍රවාහන වටිනාකම) ලබාදෙන ලෙස ඖෂධ නියාමන අධිකාරිය විසින් අදාළ සමාගමට දැනුම් දෙනු ලබයි. කෙසේ වුවද ඒ වන විට මෙම CIF අගය පරීක්ෂා කිරීම සඳහා උචිත කාර්ය මණ්ඩලයක් අනුමත කර තිබී නැත.

මෙම නිශ්චිත ඖෂධය සම්බන්ධ තත්ත්වය ගත්විට, එය ආනයනය කරන (දේශීය) සමාගම, එහි ‘ඉන්දීය මිල’ එය නිෂ්පාදනය කරන ඉන්දීය සමාගමකින් ලබාගත් ලිපියක් මගින් ඖෂධ නියාමන අධිකාරිය වෙත ලබාදී ඇත. ඒ අනුව මෙම ඖෂධයේ මිල රුපියල් 76,000 ක් වන බව අදාළ ලියාපදිංචි සහතිකයේ සඳහන් කර ඇත. එහෙත් එම සඳහන් කිරීම නිවැරදි ඇගයීමක් අනුව සිදු වූවක් නොවන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දුන්නේය.

මෙම ඖෂධය රජය මගින් රෝහල්වලට සපයන ඖෂධයක් බවත්, දේශීයව එම ඖෂධය වැඩි වශයෙන් හෘද රෝග ශල්‍යකර්ම සඳහා භාවිත කරන බවත් ඔහු පැවසීය.

මෙම ඖෂධය මෙවර ටෙන්ඩරය සඳහා ඉදිරිපත් කිරීමේදී ටෙන්ඩර් ඇගයීම් කමිටුවේ සිටි ශල්‍ය වෛද්‍යවරයෙකු පෙන්වා දී ඇත්තේ, මෙම ඖෂධය රෝහල්වල හිඟ වූ අවස්ථාවල එය බාහිරින් මිලදී ගැනීමට නිර්දේශ කළ අවස්ථාවලදී රෝගීන් රුපියල් 1000 ක පමණ මුදලකට එය රැගෙන එන බව නිරීක්ෂණය කර ඇති බවයි. ඒවා ලියාපදිංචිය රහිතව සිදු කරන අලෙවි කටයුතු බව මෙහිදී ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටියදී, මෙම ඖෂධයේ සැපයුම්කරුගේ ලියාපදිංචිය අලුත් කිරීම සඳහා අයදුම් කර තිබේ. එහිදී මේ ඖෂධය සඳහා වන CIF මිල යළි ලබාදෙන ලෙස එම පාර්ශ්වයට දැනුම් දී තිබේ. එසේ ලබාදුන් මිල ප්‍රතිශතයන් අනුව ගණනය කර බැලීමේදී මෙම 370 මිල ලැබුණු බව මෙහිදී සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙවර අදාළ සමාගම නිවැරදි CIF වටිනාකම ලබාදුන් බව ඔවුන්ගේ නිරීක්ෂණයයි. මේ සඳහා වර්තමානයේ ඖෂධ නියාමන අධිකාරියේ මිලකරණ ඒකකයක්(Prizing Unit) ස්ථාපනය කර ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම CIF වටිනාකම අනුව නිශ්චය කර ඇති මිල ගණන් ඉදිරි ලංසු තැබීමකදී වෙනස් විය හැකි ද? යන්න පිළිබඳව අප සිදු කළ විමසීමකදී සභාපතිවරයා සඳහන් කළේ, පවරා ඇති නඩුවක අතුරු තහනම් නියෝගයක් අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියට මිල නියාමනය තාවකාලික අත්හිටුවා තිබෙන බවයි. මේ හේතුවෙන් ඖෂධවල මිල ගණන් නීතිමය වශයෙන් නියම කිරීමට නොහැකි බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළේ ය. ඒ අනුව අදාළ මිල ගණන් උච්ඡාවචනය වීමේ හැකියාවක් පවතින බව ඔහු සඳහන් කළේය.

රූපවාහිනී සංවාදයකට සහභාගී වෙමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සවීන් සේමගේ ප්‍රකාශ කළේ, ඔහු දැනුවත් පරිදි මෙම ඖෂධය රුපියල් 370.00 මිලට මෙතෙක් මිලදී ගෙන නොමැති බවයි.

එම වීඩියෝව මෙතැනින් – https://www.youtube.com/live/po5oDPXGXOs?t=782

මේ අනුව, 2018 දී රුපියල් 76,500.00 කට ආසන්න මුදලකට ලියාපදිංචි කර රජය විසින් සැපයුම්කරුවෙකුගෙන් මිලදී ගත් හෘද රෝග ශල්‍යකර්ම සඳහා භාවිත කරන Papaverine Hydrochloride Injection 60mg/2ml නමැති නික්ෂේපය සඳහා, මෑතකාලීනව එම සැපයුම්කරු විසින්ම රුපියල් 370.00 ක ආසන්න මිලකට අවසාන මිල නිශ්චය වන පරිදි CIF අගය/ගොඩබාන විට වටිනාකම ඉදිරිපත් කර තිබෙන බව FactSeeker සනාථ කරයි.

ඒ අනුව, මෙම පුවතට අදාළ සමාජ මාධ්‍ය සටහන්වල දැක්වුණු අන්දමට මෙම ඖෂධය “පිළිකා පෙත්තක්” නොවන බවත්, එය රජයේ රෝහල් මගින් “නොමිලේ” රෝගීන් වෙත ලබාදුන් නික්ෂේපයක්(Injection) බවත් FactSeeker සනාථ කරයි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

චීනයේ පැතිර යන HMPV වෛරසය පිළිබඳ සමාජ මාධ්‍යයේ අසත්‍ය පළ කිරීම් රැසක්

ජනවාරි 6, 2025

කසකස්තානයේ ගුවන් අනතුරින් සියල්ලන් ජීවිතක්ෂයට පත්වුණාද?

දෙසැම්බර් 27, 2024

පාසල් නිල ඇඳුම් නොමිලේ ගත්තේ සුසිල් ද? හරිනිද?

දෙසැම්බර් 17, 2024

මුදල් ඉල්ලමින් ලැබෙන වට්ස්ඇප් පණිවුඩ පිළිබඳ සැලකිලිමත් වන්න?

දෙසැම්බර් 14, 2024

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට අහෝසි ද ?

දෙසැම්බර් 2, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection