ලොස් ඇන්ජලීස් ලැව් ගින්නේදී සතුන් බේරගත් බව දැක්වෙන වීඩියෝව ව්‍යාජ නිර්මාණයක්.

පසුගිය ජනවාරි හත්වනදා සිට සැන්ට් ඇනා හි අධික සුළං තත්වයත් සමඟ ඇමෙරිකාවේ ලොසැන්ජලිස් නගරයේ ඇති වූ ගින්න වේගයෙන් පැතිර ගිය අතර එමගින් සැලකිවයුතු මට්ටමක දේපල සහ ජීවිත හානි සිදු විය.
by Anonymous |
ජනවාරි 23, 2025

මේ හේතුවෙන් ලොසැන්ජලීස් නගරයේ ඇතිවූ ගින්න වෙත ජාත්‍යන්තර වශයෙන් විශාල මාධ්‍ය අවධානයක් යොමු විය. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පුවත් පළ වූ අතර බොහෝ අසත්‍ය ප්‍රචාරයන් ද ඒ අතර විය.
FactSeeker දිගින් දිගටම මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සිටි අතර එවැනි පළකිරීම් කිහිපයකම කරුණු පරීක්ෂාවන් සිදු කරන ලදී. මේ ආකාරයෙන් “රැකියාවට එහා ගිය මනුස්සකම” යනුවෙන් සඳහන්ව කැලිෆෝනියාවේ ඇති වූ ගින්නෙන් සතුන් බේරාගන්නා බව දැක්වෙන වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන ආකාරය FactSeeker ට නිරීක්ෂණය විය.
එම වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී දිවි ගලවා ගැනීමට උත්සාහ දරණ පුද්ගලයින් සහ සතුන්ගේ චලනයන් හි අසාමාන්‍ය බවක් ඇති බව හඳුනා ගැනීමට හැකි විය. කැලිෆෝනියාවේ ගින්නෙන් සතුන්ගේ දිවි බේරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පිළිගත හැකි මූලාශ්‍ර පවතින්නේ ද? යන්න සොයා බැලීමේදී එවැනි කිසිදු මූලාශ්‍රයක් FactSeeker ට හමු නොවුණි. ඒ අනුව මෙම වීඩියෝව කෘත්‍රීම බුද්ධිය (AI) ඔස්සේ නිර්මාණය කරන ල්ද්දේ ද? යන්න තහවුරු කර ගැනීමට කටයුතු කරන ලදී. එම වීඩියෝවේ ඇතැම් අවස්ථා කෘත්‍රීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කර ඇති බව Is it AI වෙබ් අඩවිය හරහා තහවුරු විය.
මීට අමතරව දිවිගලවාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටින පුද්ගලයින්ගේ ඇස් සබඳතාවය පවත්වාගැනීම පැහැදිලි නොවීම, සතුන්ගේ හැසිරීම්වල අතාත්විකභාවය මෙන්ම ගින්න පැතිරෙමින් තිබෙන ප්‍රදේශය අවට හිම සහිත භූමියක් පැවතීම වැනි අතාත්වික ස්වභාවයන් මත මෙය ව්‍යාජ ලෙස නිර්මාණය කරන වීඩියෝවක් බවට කරුණු තහවුරු කළ හැකිය.
මේ අනුව ” රැකියාවට එහා ගිය මනුස්සකම” යනුවෙන් සඳහන්ව හුවමාරු වන සතුන් බේරා ගන්නා වීඩියෝව කෘත්‍රීම බුද්ධිය යොදාගෙන නිර්මාණය කරන ලද බව FactSeeker තහවුරු කරයි.