පොලිස් නිලධාරියෙක් කාන්තාවක් පැහැර ගෙන ගියාද?

පොලිස් නිල ඇඳුමෙන් සිටින පුද්ගලයෙකු බලහත්කාරයෙන් කාන්තාවක් වෑන් රියක නංවාගෙන යන වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය කළඹන සිදුවීමක් විය.
by Anonymous |
ජනවාරි 22, 2025

දහවල් කාලයේදී පවා කිසිදු අපහසුවකින් තොරව කාන්තාවන් පැහැරගෙන යන බව සඳහන් කරමින් මෙම වීඩියෝව හුවමාරු කර තිබිණි.
මෙම පැහැර ගැනීම ලංකාවේ සිදු වූවක් ද ? යන්න පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයින් විමසා තිබුණි. ඊට අමතරව මෙම වීඩියෝව සම්බන්ධයෙන් විමසා බලන ලෙස ඉල්ලීම් කර තිබූ බැවින් Factseeker මේ පිළිබඳ ව සොයා බැලීය.
එම වීඩියෝව මෙතැනින්
https://x.com/viinooooooo/status/1880609217960452310
වෑන් රථයකින් පැමිණෙන පිරිමි පුද්ගලයන් කිහිපදෙනෙක් මෙම පැහැර ගැනීම සිදුකරන අතර එහි පොලිස් නිල ඇඳුමට සමාන නිල ඇඳුමකින් සැරසී සිටි පුද්ගලයෙක් ද සිටින බව පැහැදිලිව පෙනේ. ඒ අසලින් තවත් තරුණියන් සතර දෙනෙකු ද වීඩියෝවේ දර්ශනය වෙයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීස් මාධ්‍ය ඒකකයෙන් Factseeker විමසීමක් කළෙමු.
එහිදී සඳහන් කළේ මෙම සිදුවීම ඉකුත් 2025. 01.18 වන දින අංක 50 , කල්‍යාණි පාර, වැල්ලවත්ත යන ලිපිනයේ “ලංකා හොස්පිටල් ” පුද්ගලික සමාගමට අයත් නේවාසිකාගාරයක් ඉදිරිපිටදී සිදුවී ඇති බවයි.
ලංකා හොස්පිටල් හි සේවය කරන හෙද නිලධාරිනියක් මෙලෙස පැහැරගෙන ගොස් ඇත. පැහැරගෙන යාමට ඇයගේ ස්වාමි පුරුෂයා ලෙස සඳහන් අයෙක් හා තවත් තිදෙනෙකු සම්බන්ධ වී ඇත.
මෙම පිරිස අතර සිටින පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටින පුද්ගලයා සම්බන්ධයෙන් Factseeker කළ විමසීමේදී සඳහන් කළේ ඔහු මීට පෙර පොලිස් සේවයේ නිරතව සිටි අයෙක් බවයි. ඔහු 2024 වසරේ සේවයට වාර්තා නොකිරීම නිසා සේවයෙන් ඉවත් වූවා සේ සලකා ඇති සේවකයෙකු බවයි.
එසේම පැහැර ගැනීමෙන් අනතුරුව කාන්තාව සතු මුදල් කොල්ල කා වැලිකඩ පොලිස් වසමේ දමාගොස් ඇති බව හෙළි විය. මේ සඳහා යොදා ගත් වෑන් රථය පන්නිපිටිය ප්‍රදේශයෙන් කුලී පදනම මත ගෙන ඇති බව විමර්ෂණවලදී හෙළි වූ බවද පොලිස් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් අනාවරණය කළේ ය.
අදාළ සැකකරුවන් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව සමාජ මාධ්‍ය වල සංසරණය වන මෙම වීඩියෝව සත්‍ය වීඩියෝවක් බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ දී සිදුවූවක් බවත් Factseeker තහවුරු කරයි.