ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් හිමි පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක් ද?

"ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් හිමි පුද්ගලයාගේ වාර්තාව ශ්‍රී ලංකාවට" යන සිරස්තලයෙන්, CNBC පුවත් පසුතලය සමග හුවමාරු වන සමාජ මාධ්‍ය පෝස්ටු සාවද්‍ය බව FactSeeker කරුණු පරීක්ෂා කර සනාථ කරයි.
by Anonymous |
ජූලි 23, 2025

“ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් හිමි පුද්ගලයාගේ වාර්තාව ශ්‍රී ලංකාවට” යන සිරස්තලයෙන්, CNBC පුවත් පසුතලය සමග හුවමාරු වන සමාජ මාධ්‍ය පෝස්ටු රැසක් FactSeeker පසුගිය දිනවල නිරීක්ෂණය කළේය.
මේ සම්බන්ධයෙන් මෙරට තුළ පුවත් වාර්තා පළ නොවන බව නිරීක්ෂණය වීමෙන් මෙහි සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීමට FactSeeker යොමු විය.
එම පෝස්ටු සමග පළ කර තිබූ විස්තරය මෙසේය.
“ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් හිමි පුද්ගලයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියාන් පුෂ්පකුමාර හදුනාගනී. මෙටා සමාගමේ සම සභාපති Adrian Cheng විසින් නිවේදනය කළ පරිදි සමාජ මාධ්‍යයක් ලෙස ෆේස්බුක් හඳුන්වා දුන් 2004 වසරේ සිට සමීක්ෂණ වාර්තාවලින් අනතුරුව මෙම ප්‍රතිඵලයට පැමිණ තිබේ. ශ්‍රී ලංකාවේ තනි පුද්ගලයෙකු සතු මූල්‍ය වත්කම් හිමි ලැයිස්තුවේ හතරවන ස්ථානයේ සිටින මැණික් ව්‍යාපාරික ප්‍රියාන් පුෂ්ප කුමාර විසින් මේ වාර්තාවට හිමිකම් කියන ලද්දේ 2015 වර්ෂයේ සිට ෆේස්බුක් ගිණුම් 1800කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කරමිනි. එම ගිණුම්වලින් විශාල සංඛ්‍යාවක් විවිධ හේතුන් නිසා අක්‍රිය වුව ත් මෙටා සමාගමේ දත්ත අනුව මෙම වාර්තාවට හිමිකම් කියන්නේ, ඔහු බව Adrian Cheng විසින් නිවේදනය කළේ ය. අදටත් ප්‍රියාන් පුෂ්ප කුමාර විසින් නිර්මාණය කළ ගිණුම් 500කට වඩා ෆේස්බුක් අවකාශයේ දැකගත හැකි බවත් ඒ අනුව ප්‍රියාන් පුෂ්ප කුමාරට මේ ස්ථානය හිමිවන බවත් Adrian Cheng නිවේදනය කළේ ය. ඉන් පසු පිළිවෙලින් වැඩිම ෆේස්බුක් ගිණුම් ගණනක් හිමි පුද්ගලයින්ගේ වාර්තාවේ දෙවන ස්ථානය ෆේස්බුක් ගිණුම් 346ක් හිමි ඉන්දියාවේ Dhruv brajraj banerjee සහ තෙවන ස්ථානය ගිණුම් 239ක් හිමි ඇමෙරිකාවේ Jayden Rowan විසින් දිනාගෙන ඇත.”
මෙහි දැක්වෙන ආකාරයට එම නිවේදනය සිදු කර ඇති බව සඳහන් වන්නේ, Adrian Cheng නමැත්තෙක් වූ අතර එම තැනැත්තා සම්බන්ධයෙන් අපි පරීක්ෂා කළෙමු.
ඔහු 2023 පෙබරවාරි මාසයේදී Adrian Cheng, Meta Media Holdings ආයතනයේ සම සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර 2023 ඔක්තෝබර් මාසයේදී අදාළ තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. Meta Media Holdings යනු චීන ප්‍රකාශන සමාගමකි. ෆේස්බුක් අයත් මව් සමාගමේ නම Meta Platforms Inc. යනුවෙන් යෙදෙන අතර ෆේස්බුක් මව් සමාගමට අදාළව Adrian Cheng කිසිදු විධායක තනතුරක් දැරූ බවක් මූලාශ්‍ර සනාථ නොකරයි.
FactSeeker මෙම සමාජ මාධ්‍ය පෝස්ටුවල ඇතුළත් කරුණු ද වෙන් වෙන් වශයෙන් පරීක්ෂා කළ නමුත් වැඩිම ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාවක් හිමි පුද්ගලයෙකු හෝ පුද්ගලයින් ලැයිස්තුවක් පිළිබඳව කිසිදු පිළිගත හැකි මූලාශ්‍රයක් අනාවරණ නොවීය.
මෙම පුවත වාර්තා කළ ආකාරය හඟවන CNBC පුවත් පසුතලය සහිත ඡායාරූපය අප රූප මූලාශ්‍ර සෙවුම් (Reverse Image Search) මෙවලම් හරහා පරීක්ෂාවේදී එහි නියම ඡායාරූපය අපට හමු විය. එහිදී Meta සමාගමට අදාළ වෙනත් පුවතක් එම වීඩියෝවේ වාර්තා කර ඇති බව නිරීක්ෂණය විය.
එය මෙතැනින්.
ෆේස්බුක් තුළ බහු ගිණුම් (Multiple -accounts) පවත්වා ගෙන යාම සහ පරිශීලක තොරතුරු හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රතිපත්තිය කවරක්ද යන්න FactSeeker පරීක්ෂා කළේය.
ෆේස්බුක් ආරම්භ කළ 2004 සිට මෑතක් වනතුරු ප්‍රධාන ෆේස්බුක් ගිණුමට (account) අමතරව එම ඇතුළු වීමෙන්ම (log-in) තවත් පැතිකඩ (profiles) නිර්මාණය කිරීමට අවසර ලබා දී නොතිබුණි. ඒ සඳහා වෙනස් තොරතුරු ලබාදී නව ගිණුමක් (new account) ඇරඹිය යුතු විය.
2023 සැප්තැම්බර් මස සිට ෆේස්බුක් ආයතනය නිවේදනය කළ පරිදි එක් ඇතුළු වීමකින් (log-in) එනම්, එක් ප්‍රධාන ගිණුමක් භාවිත කර තවත් පැතිකඩ (profiles) 4ක් නිර්මාණය කළ හැකිය. එම නිවේදනය පහතින්.
https://about.fb.com/news/2023/09/you-can-now-have-multiple-personal-profiles-on-facebook/
ෆේස්බුක් ගිණුමක් සහ ෆේස්බුක් පැතිකඩක් අතර වෙනස හඳුනාගැනීම සඳහා මග පෙන්වීමක් පහතින්.
https://web.facebook.com/help/327202558928776
ෆේස්බුක් ගිණුම් පරිශීලකයින් සිය සැබෑ අනන්‍යතාව ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාව ප්‍රජා මාර්ගෝපදේශ තුළින් අවධාරණය කරයි.
https://transparency.meta.com/en-gb/policies/community-standards/authentic-identity-representation/
ෆේස්බුක් ව්‍යාජ ගිණුම් හඳුනාගන්නා ආකාරය පහතින්.
https://about.fb.com/news/2019/05/fake-accounts/
ෆේස්බුක් සමාගම, ප්‍රජා මාර්ගෝපදේශ (community standards) උල්ලංඝනය කරන ෆේස්බුක් ගිණුම් (platform) අක්‍රීය කරන නමුත් ඒවායේ අනන්‍යතාව පොදුවේ හෙලිදරව් නොකරයි.
මේ අනුව, “ලොව වැඩිම ෆේස්බුක් ගිණුම් ප්‍රමාණයක් හිමි පුද්ගලයාගේ වාර්තාව ශ්‍රී ලංකාවට” යන සිරස්තලයෙන්, CNBC පුවත් පසුතලය සමග හුවමාරු වන සමාජ මාධ්‍ය පෝස්ටු සාවද්‍ය බව FactSeeker කරුණු පරීක්ෂා කර සනාථ කරයි.