රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතය අකැපද?
“රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය මගින් පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය තහනම්“ බව දැක්වෙන පුවත් ගණනාවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ද පළ කර තිබෙන ආකාරය FactSeeker අපගේ අවධානය යොමු විය.
by Anonymous |
අගෝස්තු 9, 2024
“අපේක්ෂක ප්‍රවර්ධනයට රජයේ සේවකයන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්”, “රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍ය මගින් පක්ෂ ප්‍රවර්ධනය තහනම්“ යන සිරස්තල සහිතව එම පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වී තිබෙනු FactSeeker නිරීක්ෂණය කළේය.
ඒ පිළිබද ව FactSeeker කරනු ලැබූ කරුණු සොයා බැලීමේදී මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව 2024.07.26 දා නිකුත් කළ පහත චක්‍රලේඛය අපගේ අවධානයට යොමු විය.
එම සම්පූර්ණ චක්‍රලේඛයට අදාළ සබැඳිය – https://elections.gov.lk/web/wp-content/uploads/circulars/general-circulars/2024/PRE_2024_05_S.pdf
“රජයට සහ රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට අයත් දේපල මැතිවරණ කාල සීමාව තුළ දී අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ නිලධාරීන්, සේවකයන් බඳවා ගැනීම/උසස් කිරීම/ මාරු කිරීම සීමා කිරීම“ යන ශීර්ෂය සහිතව එම චක්‍රලේඛය නිකුත් කර තිබිණි.
එම චක්‍රලේඛයට අනුව දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ නිලධරයෙකු තම පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන කිසිදු ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම වරදක් බව පෙන්වා දී තිබේ. එමෙන්ම, දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයෙකු වුවද රාජකාරී වේලාව තුළ රජයේ සම්පත් භාවිත කරමින් එවැනි ප්රචාරණයේ නිරත වීම වරදක් බව එයින් වැඩිදුරටත් දක්වා තිබේ.
මෙම චක්‍රලේඛයේ අදාළ රෙගුලාසිය පැනවෙන වගන්තියේ “රාජ්‍ය නිලධාරියා“ යන්න මිස “රාජ්‍ය සේවකයා“ ලෙස සදහන් කර නැත.
මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් FactSeeker කළ විමසීමකදී ඔහු පැහැදිළි කළේ මෙම චක්‍රලේඛයේ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා සමාජ මාධ්‍ය යොදාගැනීම පිළිබඳ රෙගුලාසිය ‘සමස්ත රාජ්‍ය සේවකයින්’ සම්බන්ධයෙන් අදාළ නොවන බවයි. තව ද චක්‍රලේඛය තුළ සඳහන් වන “දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය නිලධාරීන්” යන කාණ්ඩයට මාණ්ඩලික නිලධාරීන්, ත්‍රිවිධ හමුදා හා පොලිස් සේවයේ නිරත සාමාජිකයින්, ග්‍රාම නිලධාරීන් අයත් වන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
FactSeeker මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ සදහන් වන්නේ කුමක්ද? යන්න පිළිබදව නිරීක්ෂණය කළෙමු. එහි (i) වන කාණ්ඩයේ දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීම පිළිබඳ සඳහන් XXXII පරිච්ඡේදයේ “දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකමක් නොමැති නිලධරයන්“ යටතට,
- අධිකරණ නිලධරයෙකු,
- සන්නද්ධ සේවාවල නිලධරයෙකු,
- පොලිස් හමුදාවේ නිලධරයෙකු සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ පොලිස් කටයුතු ඉටු කරන වෙනත් සාම නිලධරයෙකු, (උදා: ග්‍රාම නිලධාරීන්)
- (138 වැනි අධිකාරිය වන) වෘත්තිය සමිති ආඥා පනතේ 20 වැනි වගන්තියේ විග්රහ කර ඇති පරිදි බන්ධනාගාර නිලධරයෙකු,
- රජයේ සේවයේ නියුක්ත මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධරයෙකු,
- මැතිවරණ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ (පාර්ලිමේන්තු, පළාත් පාලන ආදී) සේවයේ නියුතු නිලධරයෙකු (එහි සේවය කරන තෙක්)
අයත් වේ.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ 2024.07.26 අංක 5 දරණ චක්‍රලේඛය අනුව අපේක්ෂක ප්‍රවර්ධනයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන්නේ රජයේ සේවකයන්ට නොව දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ නිලධාරීන්ට බව පැහැදිලි වෙයි.