රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණේ නැද්ද?
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී නොමැති බවට මැතිවරණ කොමිසම සහ පැෆ්රල් සංවිධානය අනාවරණය කරන බව ‘මොනරා’ පුවත්පත ඉකුත් 09 දා වාර්තා කර තිබිණි.
by Anonymous |
සැප්තැම්බර් 12, 2024
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට මීට ඉහත මාධ්‍ය වාර්තා ද පළ වී ඇති පසුබිමක මෙම පුවත පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට FactSeeker තීරණය කළෙමු.
ඒ පිළිබඳව ‘මොනරා’ පුවත්පත වාර්තා කර තිබුණේ මෙලෙසිනි.
“රජයේ සේවකයන්ට ලබන වසරේ ජනවාරියේ සිට වැටුප් වැඩි කිරීමට අදාළව කැබිනට් අනුමැතිය ලබාගත් බව රජය වරින්වර ප්‍රකාශයට පත් කළත් එවැනි කැබිනට් පත්‍රිකාවක් සම්මත කරගෙන නැති බව මැතිවරණ කොමිසම හෙළි කරයි.
ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විමසූ විට කොමිසම කියා සිටියේ එවැනි කැබිනට් පත්‍රිකාවක් නොමැති බව කොමිසමට ද තහවුරු වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්යාක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද කියා සිටියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් නොමැති බවයි. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අදාළව කළ ප්‍රකාශ සම්බන්ධව පැෆරල් සංවිධානය ද කොමිසමට පැමිණිලි කළ බව ද හෙතෙම කියයි.” යනුවෙනි.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට ‘කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට’ පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සඳහා පාදක වී තිබුණේ ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ පහත මාධ්‍ය නිවේදනයි.
ජනාධිපති මාධ්‍ය අංශය 2024.08.22 දින පළමු වරට මේ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වුණේ, පවතින උද්ධමනය හා ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන සියළුම රාජ්‍ය සේවකයින් සඳහා 2025 ජනවාරි මස සිට ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවයන් පිළිබඳ සොයාබැලීමට පත් කළ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා සඳහන් කළ බවයි.
2024.09.02 දින ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වුණේ, 2025 ජනවාරි සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය සියයට 24 සිට සියයට 50 දක්වා අගයකින් ඉහළ දමන බවයි.
ජනාධිපති මාධ්‍ය අංශය මේ සම්බන්ධයෙන් ඊට පසු දින එනම්, 2024.09.03 වෙනි දින නැවත මාධ්‍ය නිවේදන දෙකක් නිකුත් කර තිබිණි.
එදින පළමුව නිකුත් කළ නිවේදනයේ, රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ අවසන් වාර්තාවේ අන්තර්ගත කරුණු පැහැදිළි කර තිබිණි. ඒ අනුව 2025 ජනවාරි 01 දින සිට මෙය ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ කර ඇත. මෙම වාර්තාව කමිටුවේ සභාපති උදය ආර්. සෙනෙවිරත්න විසින් පසුගිය 03 දා ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාර දී ඇත.
එදින ම (03) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ, උදය ආර්. සෙනෙවිරත්න වාර්තාවට අන්ව 2025 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවල සේවය කරන සියලු සාමාජිකයින්ගේ මූලික වැටුප් වැඩිවීම් ප්‍රකාශයට පත් කෙරෙන බවයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර සැප්තැම්බර් මස 04, 05, 06 යන දිනවල පැවැත්විණි. එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ අයට සැප්තැම්බර් මස 11, 12 යන දිනවල ඊට අවස්ථාව සලසා තිබුණි.
‘මොනරා’ පුවත්පත මෙම පුවත පළ කර තිබුණේ, 2024.09.09 වන දිනයි.
ජනාධිපති මාධ්‍ය අංශය ඊට පසු දින එනම්, සැප්තැම්බර් 10 වෙනි දින නැවත මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි. 2025 වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවට පළ වන වාර්තා අසත්‍ය බව එහි සඳහන් කර තිබිණි. වැටුප් වැඩි කිරීම සඳහා අවශ්‍ය අවශ්‍ය අනුමැතිය මේ වනවිටත් ලැබී ඇති බැවින් සැලසුම් කළ පරිදි රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය.
මෙහි සත්‍ය අසත්‍යතාව සනාථ කරගැනීම සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ ද යන්න පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල පුවත් අඩවිය වූ www.news.lk වෙබ් අඩවිය පරීක්ෂා කළ බැලුවෙමු.
එහි මේ පිළිබඳ සඳහන් කර තිබුණේ මෙලෙසිනි.
ඒ අනුව එම කමිටුවේ අතුරු වාර්තාව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 24/1609/601/097 යටතේ 2024-08-12 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
මෙම අතුරු වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම වාර්තාවේ නිර්දේශිත පහත සඳහන් යෝජනා සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, අදාළ යෝජනා 2025 වර්ෂයේ අයවැයට ඇතුළත් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද බව 2024-08-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණවල සඳහන් වේ.
ඒ අනුව,
* 2025 පාදක වසර ලෙස සලකා සියලුම රජයේ සේවකයින් සඳහා (සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමට යටත්ව) ජීවන වියදම් දිමනාව මාසිකව රුපියල 25,000ක් ගෙවීම
* රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප 24% සිට 50%-60% දක්වා වූ පරාසයකින් වැඩි වන අතර ජීවන වියදම් දිමනාව සමඟ දළ වැටුප රු. 55,000ක් ලෙස ගෙන අනෙකුත් සියලුම තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැළපීම
යන නිර්දේශ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදීම සිදුකර ඇත.
මෙම විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව ඉකුත් 03 වෙනි දින ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ. එම වාර්තාවේ නිර්දේශ මඟින් ඉදිරිපත් කර ඇති රාජ්‍ය සේවා වර්ගීකරණය, රාජ්‍ය සේවකයින්ගේ දීමනා, විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම, වැන්දඹු, වැන්දඹු පුරුෂ හා අනත්දරු සහ අග්‍රාහාර අයකිරීම් සම්බන්ධ නිර්දේශ සහ සංශෝධන 2025.01.01 දින සිට ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදීමත්, එම නිර්දේශ 2025 අයවැය යෝජනා සඳහා අන්තර්ගත කිරීමත් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පසුගිය 10 දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
මේ පිළිබඳව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉකුත් 10 වන දින කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කරමින් අදාළ අනුමැතිය ලද බව සඳහන් අමාත්‍ය මණ්ඩල සංදේශයද මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.
ඊට අදාළ සබැඳිය පහතින්. https://www.facebook.com/share/v/4ysGBaaiEMn7Yfwf/
මේ සම්බන්ධයෙන් සමාජයේ කතිකාවක් ඇති වී තිබෙන අවස්ථාවකදි “ශ්‍රී ලංකා ජනාධිපති” ලිපි ශීර්ෂය යටතේ රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් වන අවසන් වාර්තාව බව දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කළ කැබිනට් සංදේශයක් සමාජ මාධ්‍ය හරහා වේගයෙන් හුවමාරු වෙමින් පැවැතිණි.
මෙය සත්‍යය කැබිනට් සංදේශය ද යන්න පිළිබඳව Factseeker රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් දිනිත් චින්තක කරුණාරත්නගෙන් කළ විමසීමේදී මෙය සත්‍ය සංදේශය බව තහවුරු කළේ ය.
ඒ අනුව රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී නොමැති බවට දැක්වෙන ප්‍රකාශ සහ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව FactSeeker තහවුරු කරයි.