ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කළ හැකිද?

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය මේ වසරේ නොවැම්බර් 17 වෙනිදා අවසන් වීමට නියමිතය. ඒ අනුව සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 17 අතර කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසම පසුගියදා නිවේදනය කළේ ය.
by Anonymous |
ජූනි 11, 2024

මේ අතරතුර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ග කර ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් දේශපාලන කරළියේ මහත් ආන්දෝලනයක් ඇති වී තිබේ.
මේ ප්‍රකාශයත් සමග එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි පෙළේ සාමජිකයන් වන රවි කරුණානායක පමණක් නොව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ ඉදිරිපත් කර තිබිණි.ජනාධිපතිවරණය කල් දැමීම මේ මොහොතේ නුසුදුසු බවත් ජනමත විචාරණයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ කිසිදු සාකච්ඡාවක් සිදු වී නැති බවත් නවීන් දිසානායක ප්‍රකාශ කර තිබිණි.
මේ අතර රවි කරුණානායක ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙකු බැවින් ජනාධිපතිවරණය කල්දැමීමට ඔහුට අදහසක් නැති බවත් අනිවර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ත් ය.
එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද කල්දැමීමේ යෝජනාවට සියලුම දේශපාලන පක්ෂ විරුද්ධ අතර එසේ කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර තිබිණි.
මේ අතර මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ද මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ, ජනමත විචාරණයක් හරහා ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කිරීම සදහා විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියක සදහන් නොවන බව ය.
ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමිය යුතු බව රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ පවතින කතා බහ නිසා මෙහි නීත්‍යානුකූල තත්ත්වය පිළිබද විමසා බැලීමට Fact seeker තීරණය කළෙමු.
ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කළ හැකි ද? යන්න පිළිබදව අධ්‍යයනයක යෙදුනෙමු.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති වශයෙන් දිවුරුම් දෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු වශයෙනි. ඒ 2020 ජනාධිපතිවරණයේදී ඡන්ද 69 ලක්ෂයක් ලබා ගනිමින් ජනාධිපති ධූරයට පත් වූ ගෝඨාභය රාජපක්ෂට එල්ල වූ ජනතා විරෝධය හේතුවෙන් ජනධිපති ධූරයෙන් ඉල්ලා අස් වීමට සිදු විය. එයින් හිස් වූ ජනාධිපති ධූරය සදහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 (1) (අ) වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉකුත් වීමට පෙර ජනාධිපති ධූරය හිස් වුවහොත් සුදුසුකම් ඇති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත යුත්තේ ය. එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තෙකු ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධූර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධූරය දැරිය යුත්තේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 85 වෙනි ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යැයි සලකන්නා වු යම් කාරණයක් ජනාධිපතිවරයා විසින් ජනතමත විචාරයක් මගින් ජනාතාවට ඉදිරිපත් කළ හැකිය.
ජනමත චිචාරණයක් ලෙස ජනතාව වෙත ඉදිරිපත් කරන කාරණය පනත් කෙටුම්පතක් ලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලක්කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ජනතාවට ඉදිරිපත් කළ යුතුය. එහිදී ලබාගන්නා වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් බහුතරය අනුමත කර ඇත්නම් එය අනුමත වේ
ජනාධිපතිවරයාගේ ධුරකාලය වසර දෙකක් දීර්ඝ කරන්නේ නම් එය කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත කී 85 වෙනි ව්‍යවස්ථාවේ පවතින ප්‍රතිපාදන මතය.
මේ සම්බන්ධයෙන් factseeker නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතාගෙන් විමසීමක් කළෙමු.එහිදී ඔහු පැවසුයේ මෙවැනි අදහසකි.
“අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස සියලු විධායක බලතල වත්මන් ජනාධිපතිවරයාට හිමිවෙලා තිබෙනවා. එහෙම උනත් ජනමත විචාරයණකින් තොරව ඔහුගේ ධූර කාලය වසර දෙකකින් දීර්ඝ කරන්න හැකියාවක් නෑ. ජනමත විචාරණයක් පැවැත්වීමට හැකියාව ඇත්නම් අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබෙනවා. ඒ නිසා නියමිත කාලයේදී ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.”
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පිරීස් මහතා පවසන්නේ “ජනාධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ කළ හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයකින් පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව අනුව එවැනි සංශෝධනයක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍යයි. පසුව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය අවශ්‍යයි . පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැතිව එවැනි පනතකට ජනමත විචාරණයකට යා නොහැකියි.”යනුවෙන් සඳහන් කළේය.
මෙම සියලු කරුණු සලකා බැලීමේදී ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වීමේදී යළිත් වසර දෙකකට නිලකාලය දීර්ඝ කිරීමට නම් ජනමතචිචාරණයක් පැවැත්විය යුතු බව පැහැදිලිවේ.