Factseeker Sinhala
  • English
  • සිංහල
  • தமிழ்
  • කරුණු පරීක්ෂා කර ඇත
    • සියලු
    • දේශපාලන
    • ආර්ථික
    • සමාජමය
    • පාරිසරික
    • සෞඛ්‍ය
  • ක්‍රමවේදය
  • අපි ගැන
  • කරුණු පරීක්ෂා කිරීම
  • ප්‍රකාශන
  • අපව අමතන්න
  • #Fact checked

ජනපති අනුර පළමු අයවැයෙන් දුන් පොරොන්දු ඉටු කළා ද?

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සිය පළමු අයවැය ලේඛනයෙන් භාණ්ඩ හා සේවා කිහිපයක් සඳහා වැට් බද්ද 0% අනුපාතයට ගෙන ඒමට දී ඇති පොරොන්දුව පිළිබඳව FactSeeker සිදු කළ විමර්ශනයකි.

by Anonymous |

පෙබරවාරි 21, 2025

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර අපේක්ෂකයෙකුව සිටියදී සිය පළමු අය-වැයෙන් ආහාර පාන, අධ්‍යාපන සේවා, සෞඛ්‍ය සේවා සහ සෞඛ්‍ය උපකරණ සඳහා පනවා ඇති බද්ද මුළුමනින් ඉවත් කරන බවට සිදු කරන ප්‍රකාශයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරය FactSeeker නිරීක්ෂණය කළේය.

ඒ ඔස්සේ, එම මැතිවරණ පොරොන්දුව පසුගිය 17 වැනිදා ඉදිරිපත් කළ අයවැය මගින් කොතෙක් දුරට ඉටු කර තිබේද යන්න FactSeeker විමසා බැලීය.

පළමුව අප ඔහු එවැනි ප්‍රකාශයක් කර තිබේද? යන්න පිළිබඳව විමසා බැලීය.

එහිදී 2024.08.20 දින පඬුවස්නුවර පැවති මැතිවරණ රැලියකදී ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇති බව තහවුරු කර ගැනීමට හැකි විය.

එම වීඩියෝව මෙතැනින්.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සිය පළමු වෙනි අයවැය ලේඛනයෙන් ආහාර පාන, සෞඛ්‍ය, සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය උපකරණ සහ අධ්‍යාපන සේවා සඳහා දැනට පනවා ඇති වැට් බද්ද මුළුමනින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඔහු එහිදී ප්‍රකාශ කරයි.

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ මෙම කරුණ පිළිබඳව ලබාදී ඇති පොරොන්දු ද මෙහිදී අපගේ සැලකිල්ලට ලක් විය.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 103 පිටුවේ මෙසේ සඳහන් වෙයි.

“දේශීයව නිෂ්පාදනය කරන කිරි, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර, ළදරු කිරි, ඖෂධ, පාසල් පොත් හා උපකරණ, සඟරා, පුස්තකාල සේවා, කෘෂි උපකරණ, පොහොර, සූර්ය පැනල සහ උපාංග, පුනර්ජනනීය බලශක්ති ජනන යන්ත්‍ර, ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන වාහන උපකරණ පරිපථ, දේශීය නිෂ්පාදන මෘදුකාංග, තොරතුරු තාක්ෂණ සේවා, පර්යේෂණ හා සංවර්ධන සේවා සඳහා වැට් බද්ද 0% අනුපාතයට ගෙන ඒම.”

මෙම ලේඛනයේ ඉංග්‍රීසි අනුවාදයෙහි දේශීයව නිෂ්පාදනය කරන පරිගණක ද, ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන උපකරණ ද ඉහත ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

ඒ අනුව, 2025 අයවැය කථාව මත පදනම්ව ඉහත භාණ්ඩ හා සේවාවලට පනවා ඇති එකතු කළ අගය මත බද්ද(VAT) කොපමණද? යන්න සහ ඊට වෙනස්කම් කර තිබේදැයි FactSeeker පරීක්ෂා කළේය.

අයවැය කථාවේ “ආදායම් ක්‍රියාමාර්ග” යටතේ නැවුම් කිරි සහ යෝගට් සඳහා වැට් බද්ද ඉවත් කිරීම ඇතුළත් කර ඇති අතර, ඩිජිටල් සේවා සඳහා වැට් බද්ද හඳුන්වාදීම යෝජනා කර ඇත.

2024.12.18 දින පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග තෙවැනි සමාලෝචනයේදී නැවුම් කිරි සහ යෝගට් සඳහා පවතින වැට් බද්ද ඉවත් කිරීමට එකඟතාවකට එළඹි බවයි.

එම ප්‍රකාශය මෙතැනින්.

මීට අමතරව වැට් බද්ද ඉවත් කරන බවට සඳහන් කළ අනෙකුත් භාණ්ඩ හා සේවා මත දැනට පනවා ඇති වැට් බදු ප්‍රතිශතයන් අපි විමසා බැලුවෙමු.

15% ක් ව තිබූ එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 18% දක්වා වැඩි කිරීමට සහ ඊට අදාළ නීති සංශෝධනය කිරීම සඳහා 2023-10-30 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

ඒ අනුව, 2024 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි වැට් බදු නිදහස් කිරීම් බහුතරයක් අහෝසි කරමින්, 2023 අංක 32 දරන, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත, 2023 දෙසැම්බර් 13 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී.

එමගින් වැට් බද්දෙන් නිදහස් වන භාණ්ඩ හා සේවා අයිතම 43 ක් නිශ්චිතව දක්වා ඇත.

ඊට අනුව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් වැට් බද්ද 0% අනුපාතයට ගෙන ඒමට පොරොන්දු වී ඇති ළදරු කිරි පිටි සහ ඖෂධ (ඖෂධ නිෂ්පාදන, ඖෂධ වර්ග (සුවඳ විලවුන් හැර) සහ ඖෂධ නිෂ්පාදන අමුද්‍රව්‍ය) ඒ වන විටත් වැට් බද්දෙන් නිදහස් කර තිබී ඇත.

එමෙන්ම කෘත්‍රිම අත් පා, කිහිලිකරු, රෝද පුටු, ග්‍රවණ උපකරණ, විකලාංග හෝ අශක්නුතාවන් සඳහා උපකාර පිණිස පළඳින සිරුරේ තැන්පත් කරන උපකරණ, සුදු සැරයටි, බ්‍රේල් යතුරු ලියන යන්ත්‍ර සහ කොටස්, බ්‍රේල් යතුරු ලියන කඩදාසි, බ්‍රේල් යතුරු ලියන පුවරු, ආබාධිත තැනැත්තන්ගේ ඉල්ලීම සලකා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබන වෙනත් යම් අයිතම යන ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන උපකරණ වැට් බද්දෙන් නිදහස්ව පැවති භාණ්ඩ වෙයි.

ඒ හැර පාසල් පොත් හා උපකරණ, සඟරා, පුස්තකාල සේවා, කෘෂි උපකරණ, පොහොර, සූර්ය පැනල සහ උපාංග, පුනර්ජනනීය බලශක්ති ජනන යන්ත්‍ර, ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන වාහන උපකරණ පරිපථ, දේශීය නිෂ්පාදන මෘදුකාංග – තොරතුරු තාක්ෂණ සේවා – පරිගණක, පර්යේෂණ හා සංවර්ධන සේවා යන භාණ්ඩ හා සේවා සඳහා මේ වන විටත් 18% ක වැට් බද්ද පැනවේ.

වැට් බද්ද 0% අනුපාතයට ගෙන ඒමට පොරොන්දු වී ඇති ලැයිස්තුවේ “දේශීයව නිෂ්පාදනය කරන කිරි, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර” ඇතුළත්ව තිබේ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අයිතම ලැයිස්තුවට ඇතුළත් වූ දේශීයව නිෂ්පාදනය කරන නැවුම් කිරි (සහ ඊට අමතරව යෝගට්) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව පරිදි මේ වන විට වැට් බද්දෙන් නිදහස් කර ඇත. කෙසේ වෙතත් ‘යෝගට්’ වැට් බද්දෙන් නිදහස් භාණ්ඩයක් ලෙස පැවතුණු අයිතමයක් බව අපගේ නිරීක්ෂණය විය. බිත්තර සඳහා පනවා ඇති වැට් බද්ද ඉවත් කර නැත.

සහල්, පරිප්පු, අර්තාපල්, ලොකු ලූනු, රතු ලූනු, වියළි හාල්මැස්සන්, මාළු යනාදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අයිතම ගණනාවක් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් නමුත්, වැට් බද්දට යටත් නොවේ.

අනුර කුමාර දිසානායක පඬුවස්නුවර රැලියේදී සඳහන් කරන අධ්‍යාපන සේවා සහ සෞඛ්‍ය සේවා(රෝහල් කාමර ගාස්තු හැර) වැට් බද්දෙන් ඒ වන විටත් නිදහස් කර තිබී ඇති අතර, ආහාරපාන අයිතම සමහරක් සඳහා වැට් බද්ද පැනවේ.

ඒ අනුව, අනුර කුමාර දිසානායක ජනාධිපති ධුර අපේක්ෂකයෙකු ලෙස පඬුවස්නුවර රැලියේදී ප්‍රකාශ කරන අයිතම බොහොමයක් වැට් බද්දෙන් නිදහස්ව තිබූ ඒවා වේ.

ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කර තිබූ ළදරු කිරි පිටි, ඖෂධ, ආබාධ සහිත පුද්ගලයන් භාවිතා කරන උපකරණ වැට් බද්දට යටත්ව තිබූ අයිතම නොවේ.

ඒ අනුව, අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, 2025 අයවැය කථාව තෙක් එම ලැයිස්තුවෙන් වැට් බද්ද නිදහස් කළ අයිතම ලෙස සැලකිය හැක්කේ “දේශීයව නිෂ්පාදනය කරන කිරි” පමණි.

Latest updates

#fake

ඉරානය අමෙරිකානු B-2 Spirit යානාවක් බිම හෙලූ බව දක්වන ඡායාරූප ව්‍යාජයි

ජූනි 24, 2025

#fake

Spa Ceylon වෙනත් නිෂ්පාදනයක් ප්‍රවර්ධනය කරන බව සඳහන් ප්‍රචාරය අසත්‍යයි

ජූනි 23, 2025

#fake

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් නවතන ලෙස උද්ඝෝෂණ කරන වීඩියෝව AI නිර්මාණයක්!

ජූනි 20, 2025

#fake

TEMU හි නොමිලේ ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙන බවට පළවන පුවත අසත්‍යයි!

ජූනි 20, 2025

Related Content

චතුරංග හා කොට්ටහච්චි ටේබල් ටෙනිස් ගැහුවේ, පාර්ලිමේන්තුවේ වාර්ෂික තරඟයකට

මාර්තු 25, 2025

වීරකැටිය සමූපකාර නිලවරණය පැවැත්වුණේ පුංචි ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුවද?

මාර්තු 24, 2025

ජනපති රනිල් ජනාධිපතිවරණයට එන්නේ “හදවත” ලාංඡනයෙන්ද?

ජූලි 31, 2024

පිටිදූවේ සිරිධම්ම හිමි සංඝයාවහන්සේලාට LouisVuitton වර්ගයේ පිරිකර ලබාදුන්නේද?

ජූලි 26, 2024

ජනපතිවරණය පැවැත්වීම කල් යන බවට පළවන පුවත් අසත්‍යයි.

ජූලි 25, 2024

විශ්වසනීයයි.

තහවුරු කළ පුවත්.

ඔබ වෙත භාර දෙන ලදී.

අපි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට (SLPI) අනුබද්ධ ස්වාධීන කරුණු පිරික්සුම් කණ්ඩායමකි.

FactSeeker හි වෛෂයික සහ දිගුකාලීන ඉලක්කය වන්නේ වැරදි/සාවද්‍ය තොරතුරු ඉවත් කිරීමේ උත්සාහයේදී විශ්වාසනීය සහ සත්‍යාපිත අන්තර්ගතයන් මහජනතාවට ලබා දීමයි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමට දායක වීමට SLPI සමඟ ඇති ඒකකය කැපවී සිටී.

Quick Links

Home

කරුණු පරීක්ෂා කර ඇත

ක්‍රමවේදය

අප ගැන

කරුණු පරීක්ෂා කිරීම

ප්‍රකාශන

අපව අමතන්න

View Contact

Topics

කරුණු පරීක්ෂා කර ඇත

දේශපාලන

සෞඛ්‍ය

සමාජමය

පාරිසරික

ආර්ථික

Follow Us

Copyright 2025 © FactSeeker-Sri Lanka Press Institute. All Rights Reserved. Design & Developed by Enfection