ගොටුකොළ, මුකුණුවැන්න වැනි පලා වර්ග වගා කිරීම තහනම් ද?

ගොටුකොළ ඇතුළු පලා අනවසරයෙන් වගා කළොත් වසරක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩ පැනවෙන බවට පාහියංගල ආනන්ද සාගර හිමි විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමු විය.
by Anonymous |
අගෝස්තු 16, 2024

2024.08.10 වන දින රැස්වූ මොණරාගල භික්ෂු උපදේශක සභාවේදී ‘සුරකිමු ලංකා’ ජාතික සංවිධානයේ සභාපති ශාස්ත්‍රපති පරිසරවේදී පාහියංගල ආනන්ද සාගර හිමි විසින් සභාව අමතා සිදු කළ ප්‍රකාශයක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් මගින් ආවරණය කර තිබිණි.
එහිදී ආනන්ද සාගර හිමියන් කළ එම ප්‍රකාශය එදින හිරු නාලිකාවේ විකාශයේ කළේ මේ අයුරිනි. https://youtu.be/UgKNeVuVJDA?t=3864
“මේ රට හදන්න ගංජා බිස්නස් කරන්න ඕනෙ නෑ. ඊයේ පෙරේදා ගැසට් එකක් ගැහුවා. මේ ගැසට් එකේ තියෙනවා රටේ වගා කළ හැකි ඒවා, වගා කළ නොහැකි ඒවා. ඒවායෙ තියෙනවා, පලා, ගොටුකොළ අනවසරයෙන් වගා කළොත් වසරක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩ ගහනවලු. ඒ මොකද දන්නවද? අර ගංජාත් ඒ ලැයිස්තුවට දාලා. දැන් ගංජත් තියෙන්නේ අර වගා නොකළ යුතු ලැයිස්තුවේ. ගොටුකොළ තියෙන්නෙත්, පලා තියෙන්නෙත් මුගුණුවැන්න තියෙන්නෙත් වගා නොකළ යුතු ලැයිස්තුවේ. මේ ගැසට් එක අනුව පලා ටිකක් ගෙදර තියේ නම් වසරක සිර දඬුවම් “ යනුවෙන් ආනන්ද සාගර හිමියෝ එහිදී ප්‍රකාශ කළහ.
මේ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේදී 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 7(උ), 10 සහ 77 වන වගන්ති සහ VI වැනි කොටස සමග කියවිය යුතු, එකී පනතේ 82 වැනි වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග වන, 2024.04.08 දින නිකුත් කරන ලද ‘ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා වන ආයුර්වේද සංග්‍රහය, 2024’ ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය ද, 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කරමින් සම්මත කරන ලද 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනත ද අපගේ විමසුමට බඳුන් විය.
2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනතේ 7 වන වගන්තිය තුළින් ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තිය ඉවත් කර පහත වගන්තිය ආදේශ කර තිබේ.
ඉන් පනතේ අරමුණු දක්වා ඇති අතර එහි 7. (උ) උප වගන්තිය මගින් මෙසේ දැක්වේ.
“දෙපාර්තමේන්තුව මගින් හෝ තත්කාර්යය සඳහා පනතේ VI වන කොටස යටතේ සංස්ථාපනය කරන ලද මණ්ඩලයක් මගින් 77 වන වගන්තිය යටතේ සඳහන් කරන ලද සංග්‍රහයේ විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් ගුණාත්මක ආයුර්වේද භාණ්ඩ, ද්‍රව්‍ය හෝ ඖෂධ ලබා දීම සහ පර්යේෂණ සහ ව්‍යාප්තිය සඳහා වන ඔසු උයන් හෝ ඔසු වගා කළමනාකරණය කිරීම.”ලෙස දැක්වෙයි.
නව සංශෝධන පනතේ 10 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ එන 10 වන වගන්තිය,
“ආයුර්වේද ආරෝග්‍යශාලා” යන වචන දැක්වෙන සෑම තැනකම ඒ වෙනුවට, “ආයුර්වේද රෝහල්, ඔසු වගා” යන වචන ආදේශ කිරීමෙන් ද,
“ආයුර්වේද ආරෝග්‍යශාලාව” යන වචන දැක්වෙන සෑම තැනකම, ඒ වෙනුවට, “ආයුර්වේද රෝහල, ඔසු වගා” යන වචන ආදේශ කිරීමෙන් ද,
“ආරෝග්‍යශාලාව” යන වචනය දැක්වෙන සෑම තැනකම ඒ වෙනුවට, “රෝහල, ඔසු වගා” යන වචන ආදේශ කිරීමෙන්, සංශෝධනය කර තිබේ.
2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනතේ 41 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 77 වන වගන්තිය සංශෝධනය කර තිබේ. එමගින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හා ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ කාර්යය උදෙසා යම් භාණ්ඩයක්, ද්‍රව්‍යයක් හෝ ඖෂධයක් නිෂ්පාදනය තහනම් කිරීමට, නියාමනය කිරීමට හෝ පාලනය කිරීමට අවශ්‍ය යැයි සලකනු ලැබිය හැකි යම් නියෝග සෑදීම සඳහා බලය ඇති අධිකාරිය විසින් අවශ්‍ය විය හැකි බවට සලකනු ලබන සියලු විධිවිධාන අන්තර්ගත වූ ආයුර්වේද සංග්‍රහයක් නියම කරමින් මේ පනත යටතේ නියෝග සෑදිය හැකි බව ඇතුළත් කොට ඇත. ආදේශිත 77 (ඒ) උප වගන්තියෙන් “වගා කිරීම සඳහා බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් අවශ්‍ය වන යම් ඖෂධීය පැළෑටියක් ප්‍රකාශයට පත් කිරීම” සඳහා නියෝග සෑදීමේ බලය අදාළ අධිකාරීන්ට පැවරේ.
ඒ අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමේ එක් මූලික අවශ්‍යතාවක් නම් ඖෂධීය ශාක යොදාගෙන සිදු කරන ඖෂධ නිෂ්පාදන සඳහා යොදාගන්නා ඔසු වගා නියාමනය කිරීම බව අපට පැහැදිලි විය.
‘ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය වෛද්‍ය විද්‍යාව සඳහා වන ආයුර්වේද සංග්‍රහය, 2024’(ගැසට් නිවේදනය)හි i වන උපලේඛනයේ i කොටස යටතේ දක්වා ඇති ‘ශාක ඖෂධ නාමලේඛනය’ යටතේ කංසා, ගොටුකොළ, මුකුණුවැන්න ඇතුළුව ප්‍රකාශිත ඖෂධීය ශාක ගණන 407 කි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා අපි ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්(ශිල්පීය) වෛද්‍ය එච්.කේ.පී. තරංග මහතාගෙන් විමසීමක් කළෙමු.
එහිදී ඔහු සඳහන් කළේ අදාළ උපලේඛනයේ සඳහන් ශාක ඖෂධ නිවසේ පරිභෝජනය සඳහා හෝ ආහාර සඳහා වෙළෙඳපොළේ අලෙවි කිරීම සඳහා හෝ වගා කිරීම මෙම ගැසට් නිවේදනය මගින් තහනම් කර නොමැති බවයි. යම් පාර්ශ්වයක් මෙම ඖෂධීය ශාක යොදාගෙන ඖෂධ නිෂ්පාදනය කරයි නම්, ඒ උදෙසා සිදු කරන වගාවන් නියාමනය කිරීමේ අවශ්‍යතාවය මත ඔවුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ලබාගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ඉහත ගැසට්ටුව අනුව කංසා සම්බන්ධ තත්ත්වය සැලකීමේදී ̒ ඖෂධ නිෂ්පාදනය කිරීම’ සඳහා යොදා ගන්නේ නම්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ලැබීමෙන් පසුව ඒ සඳහා වගා කටයුතු කිරීමට අවකාශ හිමි වේ. ඉන් පරිබාහිර කාරණා සඳහා කංසා වගා කිරීමට අවසර ලබාදීමක් මෙම ගැසට් නිවේදනය මගින් සිදු නොකෙරෙන බවත්, කංසා පිළිබඳව මේ දක්වා බලපැවැත්වුණු සෙසු නීති(විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග පනත වැනි) තවදුරටත් ක්‍රියාත්මක වන බවටත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව ‘පලා ගොටුකොළ අනවසරයෙන් වගා කළහොත් වසරක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩ පැනවෙන බව’ දැක්වෙන ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කරමින් සිදු කරන සාවද්‍ය ප්‍රකාශයක් බව FactSeeker තහවුරු කරයි.