ආණ්ඩුවේ ඇප නැතුව ණය දෙන බව කී කතාවේ ඇත්ත නැත්ත

"ඇප නැතුව ණය දෙනවා. ඔබත් ළඟම බැංකුවට යන්න. පළමු වරට රජය නීත්‍යනුකූලව කියයි." යනුවෙන් සිරස්තලය යෙදූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරය FactSeeker අවධානයට යොමු විය.
by Anonymous |
ජූලි 14, 2025

ජාතික රූපවාහිනියේ ‘කරට කර’ දේශපාලන සංවාදයේදී, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අතර සිදුවන අදහස් හුවමාරුවක් එම වීඩියෝවේ ඇතුළත් විය. ජාතික රූපවාහිනිය මගින් උඩුගත කළ සජීවී විකාශය පරීක්ෂා කිරීමෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව සත්‍ය වීඩියෝවක් බව අපට තහවුරු විය.
මුල් වීඩියෝව මෙතැනින් – https://www.youtube.com/live/qgWuZqJRhGI?t=5658
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝ කොටසෙහි ආචාර්ය කෞශල්‍යා ආරියරත්නගේ අදහස් දැක්වීම පහත දැක්වේ.
“2020 ඉඳල 2023 අන්තිම වෙනකොට ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර 25,000කට වැඩිය වැහිල ගිහින් තිබුණා. අපි ඒ කාලෙ දීපු පොරොන්දුව තමයි ඇප රහිත ණය කියන එක.
අපි ව්‍යාපෘති දෙකක් මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා, පහුගිය මාස අටට.
එකක් තමයි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ 5%, 2%, 8% කියන අඩු පොලී අනුපාත යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය දීමේ ව්‍යාපාරය.
ඊළඟ එක තමයි ජාතික ණය සුරැකුම් ආයතනය (National Credit Guarantee Limited) කියන එක අපි දැන් පිහිටුවල ණය දෙන්න පටන් අරන් තියෙනව ඇප රහිත. ඒකෙ ණය මේ වෙනකොට දීල තියෙනවා.”
තවදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කරන්නේ, රාජ්‍ය බැංකු ඇතුළු ප්‍රධාන බැංකු දහයකින් පමණ මේ ව්‍යාපෘතියට අනුව ඇප රහිත ණය ලබාදීමට කටයුතු සලසා ඇති බවයි. පුවත්පත් දැන්වීම් මගින් ද මේ පිළිබඳව ප්‍රසිද්ධියට පත් කළ බව ඇය සඳහන් කළාය.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඇප රහිත ණය ලබාදෙන ආයතනයක් පිහිටුවීම සම්බන්ධව දක්වන අදහස් මෙතැනින්.
https://www.facebook.com/share/v/1CEryQUifj/
FactSeeker මේ සම්බන්ධයෙන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය කර ඇති නිවේදන පිළිබඳව තොරතුරු පිරික්සීය.
මෙහිදී, 5%, 2%, 8% පොලී අනුපාත මත ලබාදෙන ණය සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යාංශය පුවත්පත් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කර ඇති බව අපට නිරීක්ෂණය විය.
එම පුවත්පත් දැන්වීම පහතින්.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනාකරණ ඒකකය විසින් සහභාගීත්ව ණය දෙන ආයතන හරහා SMILE III – RF සහ E-Friends II – RF යන ණය යෝජනා ක්‍රම දෙක යටතේ මෙය ක්‍රියාත්මක කරනු ලැබේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත සබැඳිය වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
https://www.industry.gov.lk/web/project-management-unit/
ඒ අනුව, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සඳහන් කරන ආකාරයට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්ට සහාය වීම සඳහා 5%, 2%, 8% යන අඩු පොලී අනුපාත යටතේ ණය ලබා දෙන බවට සඳහන් කරන කරුණ සත්‍ය බව FactSeeker තහවුරු කරයි.
FactSeeker මීළඟට කරුණු විමර්ශනය කළේ, ඇප රහිත ණය ලබාදීම සඳහා පිහිටුවා ඇති බව කියන ආයතනය පිළිබඳවයි.
“ජාතික ණය සුරැකුම් ආයතනය (National Credit Guarantee Institution Limited)” නමින් පිහිටුවා ඇති මෙම ආයතනය මගින් ව්‍යවසායකයින්ට ඇපකරයක් හෝ සුරැකුම් හෝ නොමැතිව ව්‍යාපාර ණය ලබා ගැනීමේ පහසුකම සලසන බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් කළ නිවේදනය අපට හමු විය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මේ පිළිබඳව පළ කළ නිවේදනයක් මෙතැනින්.
https://www.facebook.com/share/1FBfpupyik/
ජාතික ණය සුරැකුම් ආයතනය නිල වශයෙන් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නේ, 2025 ජුනි මස 02 වෙනිදා ය.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන මෙය ශ්‍රී ලංකා රජය හා මූල්‍යායතන 13ක හවුල්කාරිත්වයෙන් යුතුව පිහිටුවා තිබේ. එම හවුල්කාර මුල්‍යායතන පහත දැක්වේ. විශේෂිත බැංකු දෙකක්, වාණිජ බැංකු අටක් සහ බලපත්‍රලාභී මුල්‍ය සමාගම් තුනක් එම ලැයිස්තුවට අයත් වේ.
- ලංකා බැංකුව
- මහජන බැංකුව
- කොමර්ෂල් බැංකුව
- සම්පත් බැංකුව
- හැටන් නැෂනල් බැංකුව
- නේෂන්ස් ට්‍රස්ට් බැංකුව
- සෙලාන් බැංකුව
- NDB බැංකුව
- සණස සංවර්ධන බැංකුව
- ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
- LB ෆිනෑන්ස්
- සෙන්ට්‍රල් ෆිනෑන්ස්
- CDB
ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ජාතික ණය සුරැකුම් ආයතනයේ (NCGIL) ණය සුරැකුම් පහසුකම යටත් හවුල්කාරීත්ව මුල්‍ය ආයතන හරහා රුපියල් ලක්ෂ 5 සිට 250 දක්වා ණය ඉල්ලුම් කළ හැකිය. කෙසේ වෙතත් NCGIL ආයතනය සෘජුවම ණය ලබා නොදෙයි. ව්‍යවසායකයන් සඳහා අරමුදල් සපයනු ලබන්නේ හවුල්කාර මුල්‍යායතන විසිනි. NCGIL ආයතනය විසින් අවදානම අවම කිරීම සඳහා සහනයක් ලෙස මුල්‍යායතනවලට ඇපකර ආවරණයක් පමණක් ලබාදෙයි.
හවුල්කාර මුල්‍යායතන මගින් ලබා දෙන ණය මුදලින් 67%ක් (2/3ක්) දක්වා පමණක් ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ආරක්ෂණයක් සපයනු ලබයි.
ජාතික ණය සුරැකුම් ආයතනය පහසුකම් සලසන ආරක්ෂණය පරිපාලනය වන අන්දම පහත රූප සටහන තුළින් දැක්වේ.
ජාතික ණය සුරැකුම් ආයතනය මගින් මේ වන විට නිකුත් කර ඇති ඇපකර ආවරණ සම්බන්ධයෙන් අප එම ආයතනයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රධාන විධායක නිලධාරි ජූඩ් ටී. පෙරේරා සඳහන් කළේ, පසුගිය ජුනි මස 30 වන දින විට රුපියල් මිලියන 1000 ඉක්මවූ ණය ප්‍රමාණයකට අදාළව ඇපකර ආවරණ ලබා දී ඇති බවයි. ඔහු අවධාරණය කළේ NCGIL ආයතනය විසින් කිසිදු ලෙසකින් ණය සෘජුව ලබා නොදෙන බවයි. NCGIL ආයතනය ජුනි මස 30 වන දින විට ව්‍යවසායකයන් 200කට වැඩි සංඛ්‍යාවකට හවුල්කාර මුල්‍යායතන හරහා මෙම පහසුකම සපයා ඇත.
ඒ අනුව, ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සඳහන් කරන අන්දමට “ජාතික ණය සුරැකුම් ආයතනය” පිහිටුවා ඇප රහිත ණය ලබාදීම පටන්ගෙන ඇති බවට සහ මේ වන විටත් ණය ලබා දී ඇති බවට කරන ප්‍රකාශය කරුණුමය වශයෙන් නිවැරදි නොවේ.
මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවේ ඇතුළත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෞශල්‍යා ආරියරත්නගේ ප්‍රකාශය අර්ධ සත්‍ය බවට FactSeeker තහවුරු කරයි.