වතුරෙන් දුවන මෝටර් රථයක් නිර්මාණය කළ බවට පළ වූ පුවත අසත්‍යයි

ලාංකීය තරුණයෙකු වතුරෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් නිර්මාණය කර ඇති බව "ලංකාදීප" පුවත්පතේ ඉකුත් මාර්තු මස 29 වනදා විදු සෙවණ පිටුවේ පළ වූ ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයට ලක් විණි.
by Anonymous |
අප්‍රේල් 1, 2025

මෙම මෝටර් රථය රත්නපුර ඔකපතන විද්‍යාලයේ ආදි සිසුවෙකු විසින් නිෂ්පාදනය කර ඇති බව එම ප්‍රවෘත්තියේ සඳහන් කර තිබූ අතර එය අන්තර්ජාලයෙන් උපුටා ගත් බව දක්වා තිබිණි.
“සියත” රූපවාහිනියේ උදෑසන විකාශය වන “සියත පත්තරේ” වැඩසටහනේදී එය ඉදිරිපත් කරන ජනප්‍රිය නිවේදක රංගන ද සිල්වා ද මෙම ප්‍රවෘත්තිය උපුටා දැක්වීය. එහිදී එම ප්‍රවෘත්තිය විස්තර කරන ඔහු, “ඔකපතන” යන නම නොමැතිව රත්නපුරේ විද්‍යාලයක සිසුවෙක් යනුවෙන් සඳහන් කරයි.
එය මෙතැනින් – https://www.facebook.com/watch/?v=3870258506558124&rdid=DSA5NzLzbdryVU9A
ඔකපතන විද්‍යාලයේ “ඔකපතන” යන නම බොහෝ දෙනෙකු හාස්‍යයට ලක් කරමින් සමාජ මාධ්‍යයේ විවිධ පෝස්ටු පළ කර තිබීම නිසා Factseeker ඒ පිළිබඳ සොයා බැලීය.
මෙම පුවත අසත්‍ය පුවතක් බව තහවුරු කිරීමට සාධක කිහිපයක් හඳුනා ගන්නා ලදී. එනම් අදාළ නිපැයුම කළ සිසුවා සම්බන්ධයෙන් තහවුරු කළ හැකි කිසිදු තොරතුරක් සඳහන් නොවීම, අදාළ සිසුවාගේ සහ නිපැයුමේ ඡායාරූප පළ නොවීම මෙන්ම වෙනත් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක මෙවැනි සිදුවීමක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වී නොතිබීම සහ තොරතුරු ලබාගත් නිශ්චිත මුලාශ්‍රයක් හෝ පුද්ගලයෙකු පිළිබඳ සඳහනක් නොවීම නිරීක්ෂණය කළ හැකිය. ලංකාදීප පුවත්පත ද මෙම ප්‍රවෘත්තිය උපුටා ගෙන තිබුණේ අන්තර්ජාලයෙන් බව සඳහන් කර තිබිණි.
ඔකපතන විද්‍යාලය නමින් පාසලක් තිබේද? යන්න පිළිබඳව අප රත්නපුර කලාප කාර්යාලයෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ, එවැනි පාසලක් රත්නපුර කලාපය තුළ නොමැති බවයි.
කෙසේ නමුත් මෙම පළ කිරීම සම්බන්ධයෙන් “ලංකාදීප” පුවත්පතේ ප්‍රධානියෙකුගෙන් අප කළ විමසුමකදී මෙම ප්‍රවෘත්තිය අත්වැරදීමක් බවත් ඒ සම්බන්ධයෙන් නිවැරදී කිරීමක් ඊයේ (31) ලංකාදීප පුවත්පතේ 06 වන පිටුවේ පළ කර තිබෙන බවත් ප්‍රකාශ කළේ ය.
ඒ අනුව වතුරෙන් දුවන මෝටර් රථයක් මෙරට සිසුවෙකු නිෂ්පාදනය කර නැති අතර “ඔකපතන” නමින් පාසලක් ද රත්නපුර කලාපයේ නැති බවත් Factseeker තහවුරු කරයි. එමෙන්ම ලංකාදීප පුවත්පතේ පළ කරන ලද ප්‍රවෘත්තිය සාවද්‍ය බව Factseeker වැඩිදුරටත් තහවුරු කරයි.