සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන බොහෝ ප්රවෘත්ති නිසි ලෙස කරුණු විමසා නොබලා හුවමාරු කර ගැනීම මේ වන විට බහුලව සිදු වන්නකි. නමුත් ව්‍යාජ හෝ අපහාසාත්මක පුවතක් එසේ හුවමාරු කරගැනීමෙන් සමාජයට කොතෙක් බලපෑමක් හා ව්‍යසනයක් සිදු වන්නේද? යන්න පිළිබඳව අවබෝධ වන විට බොහෝ දේ සිදු වී හමාරය.
විවිධ වංචනික ක්‍රියාවල නිරතවන සංවිධානාත්මක කල්ලි සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ නිවේදන හා උපදේශන නිකුත් කිරීම පසුගිය කාල සීමාව තුළ දිගින් දිගටම සිදු වූවකි. ඕනෑම සැක කටයුතු දෙයක් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීම තමාගේත් තම හිතෛෂීන්ගේ පමණක් නොව රටේත් ආරක්ෂාවට වැදගත් වන්නකි. නමුත් ව්‍යාජ ප්රවෘත්ති මෙන්ම නිවේදන සංසරණය වීම මගින් සිදු වන්නේ අනවශ්‍ය බිය ගැන්වීමකි.
පසුගිය දින කිහිපයකට ඉහතදී අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නිවේදනයක් වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල නිවේදනයක් සංසරණය විය. එහි අන්තර්ගත වූයේ, තමන්ගේ නිවසේ ලිපිනය ලියූ කඩදාසියක් රැගෙන, අතරමං වූ බව කියමින් ළමුන් පාරවල්වල සිටින අතර මෙම දරුවන් දුටුවහොත් එම කඩදාසියේ ඇති ලිපිනයට රැගෙන නොගොස් වහාම ළගම ඇති පොලිස් ස්ථානයට රැගෙන යන ලෙස ය. මක් නිසා ද යත් ඔවුන් මරා දැමීමට, ඔවුන්ගේ අවයව සොරකම් කිරීමට හෝ ඔවුන් දූෂණය කිරීමට සංවිධානාත්මක අපරාධ කල්ලියක් සිටින බව එම නිවේදනයේ සඳහන් වී තිබිණි.
මේ සම්බන්ධයෙන් FactSeeker පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූවගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, එවැනි නිවේදනයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිකුත් නොකළ අතර, තමන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් හෝ නොලැබුණු බවයි. සමාජ මාධ්‍ය ජාල හරහා මෙවැනි නිවේදන සංසරණය වීම බහුලව සිදුවන බව කියා සිටි කළ හෙතෙම එවන් නිවේදනයක් දුටු අවස්ථාවේදී ම එය තව අයෙකුට සංසරණය නොකර පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස තමන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද පැවැසීය.
එමෙන්ම සෑම පුරවැසියෙකුම වගකීමෙන් කටයුතු කළ යුතු බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, එසේ කිරීමෙන් ජනතාව තුළ අනිසි බියක් ඇති වීම අවම කිරීමට හැකි වනු ඇති ද කියා සිටියේය.