අජාන් බ්‍රහ්මවංශ හිමියන්ගේ ගුවන් ගමන ප්‍රමාද වූයේ ඇයි?

    231

    සිංගප්පූරුව බලා පිටත් වීමට නියමිතව සිටි තායිලන්තයේ අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට නියමිත ගුවන් යානයේ ගමන් කළ නොහැකි වූයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පහසුකම් සපයන්නාගෙන් වූ අතපසුවීමක් නිසා බව ගුවන් තොටුපළ හා ගුවන්සේවා අධිකාරිය පවසයි.

    ගුවන් සේවා අධිකාරිය ඒ බව පවසන්නේ, අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට වූ අපහසුතාව සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගුවන් තොටුපළ හා ගුවන්සේවා අධිකාරියට කළ නියෝගය ප්‍රකාර පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාවෙහිය.

    ප්‍රසිද්ධ ධර්ම කථිකයෙකු වන තායිලන්තයේ අජාන් බ්‍රහ්මවංශ හිමියන් ඉකුත් 31වෙනි දින සවස 5.00ට සිංගප්පූරු ගුවන් සමාගමට අයත් SQ 469 දරණ ගුවන් යානයෙන් පිටත් වීමට නියමිතව තිබූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි උන් වහන්සේ පිටත් වීමට නියමිතව තිබුණේ ප්‍රභූ පර්යන්තයෙනි.

    එහිදී එහිමියන්ගේ ගුවන් ගමන සඳහා පහසුකම් සපයන්නා ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමය. එහිමියන් ගුවන් ගත වීම සඳහා අවශ්‍ය පිරික්සුම්, රේගු සහ විගමන විධිවිධාන නියමිත වේලාවට පැය කිහිපයකට පෙර අවසන් කර ප්‍රභූ විවේකාගාරයේ රැඳී සිට ඇත.

    ගුවන් යානය නියමිත වේලාවට ගුවන් ගත වුව ද පහසුකම් සලසන්නා විසින් නියමිත වේලාවට බ්‍රහ්මවංශ හිමියන් ගුවන් යානයට රැගෙන ගොස් නැති බව ගුවන් තොටුපොල හා ගුවන්සේවා අධිකාරිය කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත.

    මේ පිළිබඳව ඩේලිමිරර් පුවත්පත ජුනි 01 දින වාර්තා කර තිබුණේ, අගමැති දිනේෂ් ගුණවර්ධන එම ගුවන් යානයෙන් තායිලන්තය බලා පිටත්
    වීමට නියමිත ව තිබීම නිසා අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට පැය 12 ක ප්‍රමාදයක් සිදු වූ බවයි. ඉන් පසු ඩේලිමිරර් පුවත්පත එය නිවැරදි කරමින් ජුනි 02 වෙනි දින වාර්තා කර තිබුණේ, මෙම සිදුවීමට අදාළ වූයේ, අගමැතිවරයා නොව වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා  බවයි.

    මේ සම්බන්ධයෙන් Factseeker  වරාය හා සිවිල් ගුවන් සේවා අමාංශයේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ, නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ගේ ගුවන් ගමනක් හේතුවෙන් අජාන් බ්‍රහ්මවංශ හිමියන් අපහසුතාවට ලක් වූ බව පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ය.

    නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා අදාළ ගුවන් යානයෙන් චීනය බලා පිටත්වීමට නියමිත වේලාවට පැමිණි බවත් බ්‍රහ්මවංශ හිමියන්ට වූ අපහසුතාවට
    අමාත්‍යවරයාගේ සම්බන්ධයක් නැති බවත් විරාජ් අබේසිංහ සඳහන් කළේ ය.

    මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, කටුනායක ගුවන් තොටුපළේදී අජාන් බ්‍රහ්මවංශ හිමියන්ට අපහසුතාවක් ඇති වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබෙන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ය.

    ඉකුත් 31 වෙනි දින බ්‍රහ්මවංශ හිමියන් වෙනත් ගුවන් සේවාවකට අයත් යානයකින් මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබූ අතර අදාළ ප්‍රමාදය අවස්ථාවේදී කඩිනමින් ඉදිරිපත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය එම හිමියන්ට සිය ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කිරීමට අවස්ථාව ලබා දුන් බව එම නිවේදනයේ  වැඩිදුරටත් සඳහන් වේ.

    Previous articleகண்டி புற்றுநோய் சிகிச்சை பிரிவுக்கு என்ன நடந்தது?
    Next articleஅஜான் பிரம்மவன்ச தேரரின் விமானப்பயணம் தாமதமானது ஏன் ?