මහනුවර නවීන පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයට මොකද වුණේ?

164

2019 වසරේ ආණ්ඩුවට භාරදීමෙන් අනතුරුව මහනුවර මහ රෝහලේ නවීනතම පිළිකා ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් අතරමග නතර කර දමා තිබෙන නමුත් ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන බව රජය පවසයි.

පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මූල්‍ය ආධාර යොදාගෙන මහනුවර පිළිකා සංගමයේ සාමාජිකයින් විසින් 2015 වර්ෂයේ දී එම පිළිකා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළ අතර, 2019 දී එය රජයට පවරා දීමෙන් පසු එහි කටයුතු අතර මග නතර කර  තිබේ.

ඒ අතර නව පිළිකා ඒකකයේ ප්‍රතිකාර සඳහා 2019 වසරේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් linear accelerator (කැන්සර් සෛල පමණක් සොයා පුළුස්සන) යන්ත්‍ර දෙකක් ලබා දෙනු ලැබ තිබේ.

කෙසේ වුවත් ඒ අතරින් 2022 දී ක්‍රියා විරහිත වූ එක් ඇක්සලරේටර් යන්ත්‍රයක් තවමත් අලුත්වැඩියා කර නැත. අනෙක් ඇක්සලරේටරය තවමත් සවි කර පවා නැත.

ඒ පිළිබඳව FactSeeker සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් කළ විමසීමකදී, එම ඇක්සලරේටර් යන්ත්‍ර දෙක භාවිතයේ නොමැති බව  පිළිගත්තේය. මේ වනවිට එම යන්ත්‍රවල වගකීම් කාලය පවා ඉකුත්ව ගොස් ඇති බවද ඔහු කියා සිටියේය. මහනුවර රෝහල එම යන්ත්‍ර දෙක ප්‍රයෝජනයට නොගත්තේ ඇයිද? යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පිළිකා ඒකකයේ ඉදිකිරීම් කටයුතු මේ වසර අවසන් වනවිට අවසන් කිරීමට බලාපොරොත්තුවන බව කියා සිටි සෞඛ්‍ය අමාත්‍යවරයා, එය අවසන් කළ විට දැනට අපේක්ෂා රෝහලේ තදබදය පවා අඩුකිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කළේය.

කෙසේ වුවත්, දහස් ගණන් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ගැනීම දුෂ්කරව තිබියදී මෙතරම් නවීන යන්ත්‍ර ප්‍රතිකාර යන්ත්‍ර භාවිතයට නොගෙන දිරා යාමට ආණ්ඩුව ඉඩ හරියේ මන්දැයි පිළිකා මධ්‍යස්ථානය ඉදිකිරීමට ආධාර කළ පුද්ගලයින් ඇතුළු බොහෝ දෙනා ප්‍රශ්න කරති.

Previous articleWhat happened to the Cancer Treatment Centre in Kandy?
Next articleරෝසි සේනානායක නිල නිවස සහ වාහන භාර දුන්නා ද?